තමන් ගොඩයන එක තමයිලංකාවෙ පොලිටික් එක… (රංගන ශිල්පී බුද්ධික ජයරත්න)

මී මන්දාවේ තවත් සොඳුරු කතාබහක්…
April 4, 2018
බැදුම්කර
රටම විකුණන නව සැලැස්මක් ළඟ ළඟම
April 20, 2018
Show all

තමන් ගොඩයන එක තමයිලංකාවෙ පොලිටික් එක… (රංගන ශිල්පී බුද්ධික ජයරත්න)

Untitled-1

සිනමාවේ සංක්‍රාන්ති යුගයක් හැටියට මේ යුගය හඳුන්වනවා. ඇයි එවැනි තත්ත්වයක් ඇති වී තිඛෙන්නෙ ඔබ හිතන හැටියට ?

මේ සංක්‍රාන්තිය අපේ සිනමාවෙ දැන් දශක කිහිපයක් පුරාවට තිඛෙනවා. ඒ සංක්‍රාන්තිය නිර්මාණය කරපු සංක්‍රාන්තියක්. මේ සංක්‍රාන්තිය හැමදාම තිඛෙන සංක්‍රාන්තියක්. මේ සංක්‍රාන්තිය ඇති වෙන්න ප්‍රධාන හේතුව මම හිතන්නෙ මේකට සුදුසු නැති මිනිස්සු මේක තුළ සිටීම. ඒක අද ඕනෑම තැනක තිඛෙන ප්‍රශ්නයක්. සුදුසු නැති අය ඉන්නකොට ඒ විෂයය ගොඩනැෙඟන්නෙ නැහැ. මේ සිනමාවට සහ මේ කලාවට ඕනෑ එක්කෙනෙක් පිළිගන්නවා. මම හිතනවා මමත් අවෙ ෆිල්ටර් කරලා ගන්න කාලෙක නම් සමහර වෙලාවට මමත් සුදුසු නැති වෙන්න ඉඩ තිබුණා.
අපි හැමතිස්සේම හැත්තෑවේ ස්වර්ණමය යුගයක් ගැන කතා කරනව නෙ. ඇත්තටම ඔව්. ඒක ස්වර්ණමය යුගයක් තමයි. ඒකට හේතුව තමයි, එදා චිත්‍රපට නිෂ්පාදකවරු ඉතා හොඳ සමාජ පසුබිමක හිටියා. මොකද ලංකාවෙ සිනමාව එදා සිනමාව කර්මාන්තයක් විදියට තිබුණා. ඒ නිසා නිෂ්පාදකවරු චිත්‍රපට වලට ආයෝජනය කළා. ඒක තමයි මේ දක්වාම ගිලිහෙමින් පැවතුණේ.

තිස් අවුරුදු යුද්ධයත් ලංකාවේ සිනමාව කඩාවැටීමට හේතුවක් විදියට ඇතමුන් විග්‍රහ කරනවා නේ ද?

අපේ අය යුද්ධය හැම එකකටම පළි කර ගන්නවනෙ. යුද්ධයේ බලපෑම් තිබ්බා. නැත්තෙ නැහැ. නමුත් නිකමට හිතන්න මේ තිස් අවුරුදු යුද්ධය ඉවර වුණාට පස්සෙ කෝ අපේ පශ්චාත් යුද සිනමාව ? වියට්නාමය, ඇමරිකාව වැනි රටවල්වල යුද්ධ පිළිබඳව, දෙවැනි ලෝක යුද්ධය පිළිබඳව සිනමා කෘති අදටත් බිහි වෙනවා. පූර්ව යුද්ධය, යුද්ධය, පශ්චාත් යුද්ධය, යුද්ධයේ වැරැදි ඵල, යුද්ධයේ අතුරු ඵල ආදිය ගැන සිනමා කෘති බිහි වෙනවා. හැබැයි, අපි තිස් අවුරුදු යුද්ධයට සාප කර කර ඉන්නවා. යුද්ධය හේතුවක් කර ගන්නවා, ‘අද එළියට යන්න බැහැ අද වැස්ස වගේ’ කියන කම්මැලියාගේ කතාවට. යුද්ධය නම් හේතුව, යුද්ධය එච්චර ප්‍රශ්නයක් වුණා නම්, මේ යුද්ධයේ ප්‍රශ්න ගැන කතා කරපු සිනමාවක් කෝ ලංකාවෙ බිහි වුණා ද? නෑ. බොහොම මතුපිටින් අතගාපු සිල්ලර විදියට අතගාපු එකක් දෙකක් සිද්ධ වුණා. ඒක එච්චරයි.

කාටවත් අවශ්‍ය නැහැ කිව්වෙ ?

දේශපාලනඥයො තමන්ගෙ බලය ලබා ගැනීමේ දී කලාකරුවාව සහ කලාව අතකොළුවක් විදියට පාවිච්චි කර ගන්නවා අනාදිමත් කාලයක් තිස්සේ. ඒක ඉතිහාසයේ සිටම සිද්ධ වුණා. නමුත්, ඉතිහාසයේ සමහර තැන්වල දී ඒගොල්ලො ඒක යොදා ගත්තා විතරක් නෙමෙයි ඒක හරහා කර්මාන්තයටත් දේවල් සිද්ධ වුණා. චිත්‍රපටි සංස්ථාව හැදෙන්නෙත් ඒ විදියට. නමුත් පහු පහු වෙද්දී ඒක එහෙම වුණේ නැහැ. බලය ලබා ගනිද්දී කලාකරුවෝ ඒගොල්ලන්ගේ ප්‍රධාන ලැයිස්තුවේ හිටියට බලය ලබා ගත්තට පස්සෙ කලාව ප්‍රමුඛතා ලැයිස්තුවේ තියා කිසිම ලැයිස්තුවක නැති තත්ත්වයකට පත් වුණා.
මේකෙ ඉන්න පතාක යෝධයෝ මේක පරිපාලනය කරන කට්ටිය එහෙම නැත්නම් පරිපාලකයන්ගේ ඇම්බැට්ටකම් කරන කලාකාරයො පරිපාලකයන්ට කනට කරලා කලාකරුවෙක් පර්චස් දහයක් පහළොවක් ඉල්ලනවට වැඩිය හොඳ නැද්ද හම්බ කරන් කන්න තමන්ට වෘත්තිය හදලා දෙන්න කියලා කියන එක. මම කියන්නෙ ඒ සියලූ දෙනාටම මේකෙ සාපය එනවා කවදහරි.
පහුගිය අවුරුදු ගණනාවක් තුළ කෝපරේෂන් එක සතුව තිබුණු චිත්‍රපට ඛෙදාහැරීම පෞද්ගලික අංශයට බාර දෙනවා. චිත්‍රපට සංස්ථාව තුළ තිබුණා ඉතා විශාල මුදලක්. ඒ මුදල් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වියදම් කරලා දැන් ඒක ශ+න්‍ය වෙලා තියෙනවා භාණ්ඩාගාරයේ. චිත්‍රපට සංස්ථාව මහා භාණ්ඩාගාරයෙන් පඩි ගන්න ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට සිනමාව වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය ආයතනය මහා භාණ්ඩාගාරයෙන් පඩි ගන්න ආයතනයක් බවට පත් වෙද්දී කර්මාන්තය ගැන කුමන කතා ද? මම කියන්නෙ මේක කාටවත් අවශ්‍ය නැහැ.

ලංකාවෙ සිනමාවේ අනාගතය ගැන බයක් දැනෙනවා නේ ද ඔබ කියන කරුණු සහ දැන් තිඛෙන තත්ත්වය ගැන කල්පනා කරද් දි?

අපි කාලෙකදි කිව්වා අපිට සම්පත් නැහැ, බඩුමුට්ටු නැහැ කියලා කිව්වා. දැනට ලෝකයේ නිපදවා තිඛෙන අලූත්ම කැමරාවත් ලංකාවෙ තියෙනවා. දැන් මොකක් ද ඊ ළඟට තිඛෙන හේතුව ? උදාහරණයක් විදියට මම රඟපාපු අන්තිම චිත්‍රපටය ‘පුතණ්ඩියා’ චිත්‍රපටය මට අයිති සිනමා ශාලාවකට ලැඛෙන්නෙ නැහැ. ඒ ගොල්ලො කියනවා, ‘දෙන්න බැහැ’. එදාට එනවනෙ රැජිනි කාන්ත්ගෙ කබාලි. රැජිනි කාන්ත්ගේ කබාලි වෙනුවෙන් අපේ සිනමා ශාලා පෙළගැහිලා ඉන්නවා. එතකොට මේ වෙල්කම් කරන්න පිළිගන්න හදන්නෙ, මොකක් ද? මම හිතනවා, ශ්‍රී ලාංකීය සිනමාව නැති වෙනවා මේ විදියට ගියොත්. හැබැයි සිනමාව ලංකාවෙ පවතිනවා. ඒ වුණාට ලංකාව තියටර් එකක් වෙනවා. මේ අලූතෙන් හැදෙන තියටර්ස් රෙඩි වෙන්නෙ ඒකට. ලාංකීය සිනමාවේ නිර්මාණ එළියට දාන්න නෙමෙයි. මේක හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් මෙහෙට වෙල්කම් කරන්න තමයි මේ ලැහැස්ති වෙන්නෙ. එතකොට ඒගොල්ලො කියනවා ‘කෝ මිනිස්සු බලන දේවල් හදන්නෑ නෙ ඕගොල්ලො’. නමුත්, කර්මාන්තය කඩාවැටිලා තියෙද්දි, කර්මාන්තයට සපෝට් එකක් නොදී ඒක දියාරු වෙන්න අරිනවා.

ටෙලි නාට්‍ය කර්මාන්තයටත් ඔබ අර කලින් කිව්ව විදේශීය නිර්මාණ ආක්‍රමණය බරපතළ විදියට සිද්ධ වෙලා තිඛෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ මතය මොකක් ද?

අපිට මේවට තහංචි පනවන්න බැහැ. ලෝකයේ දේවල් මෙහෙට එන්න ඕනෙ. නමුත් ඒකට ප්‍රමාණයක් තිඛෙනවා. ඒකට විදියක් තිඛෙනවා. ඒකට සදාචාරයක් තිඛෙනවා. කොටින්ම කියනවා නම්, ප්‍රේක්ෂකයෙකුට බැහැ නේ ටෙලිවිෂන් එකට විරුද්ධව නඩු දාන්න. ඉතින් අපිට පෙන්නන එක අපි බලාගෙන ඉන්න ඕනැ නෙ. අපිට එහෙම ඉන්න සිද්ධ වෙලා තිඛෙනවා. රාජ්‍ය මට්ටමින්ම වාරණයක් ආවොත් තමයි, ඒක වෙන්නෙ. ටෙලි නාට්‍යවලට ශිල්පීන් සහ ස්ක්‍රිප්ට් එක තේරුවෙ කලින් අධ්‍යක්ෂවරය නෙ. නිෂ්පාදකවරයාගේ කාර්යය තමයි මූල්‍යමය දායකත්වය ලබා දීම. එතකොට මේක කර්මාන්තයක් වුණා. දෙදාහේ මැද වගේ වෙනකොට චැනල් ඇඟිලි ගහන්න ගත්තා නළු නිළියො තෝරන වැඩේට. එතකොට නළු නිළියො තෝරන්නෙ චැනල්. නමුත් ඒවා හොඳ විදියට සිද්ධ වෙච්ච තැනුත් තිබුණා. හැබැයි වැඩිපුර වුණේ නරක විදියට සිද්ධ වෙච්ච එක. ඊට පස්සෙ මේ වෙන කොට සිද්ධ වෙලා තියෙනවා ටෙලි නාට්‍යවල නළු නිළියන් විතරක් නෙමෙයි, සංගීත අධ්‍යක්ෂවරයා පවා තෝරන්නෙ වෙළෙඳ අනුග්‍රාහකයො. එතකොට එතැනම නිර්මාණයක් සිද්ධ වෙන්නෙ නැහැ නෙ. ඒ ගොල්ලන්ට කැමැති විදියට වැඩ කරන ඩිරෙක්ටර්ස්ලා තෝර ගන්නවා. කොච්චර පරක්කු වුණත් කෑ ගහන්නෙ නැති පේමන්ට් ඉල්ලන්නෙ නැති ප්‍රඩියුසර් කෙනෙකුත් හොයා ගන්නවා. එතකොට දැන් කර්මාන්තයේ ඉන්නෙ සුදුසු කට්ටිය නෙමෙයි. එතකොට ටෙලිවිෂන් එකේ ‘පීක් අවර්ස්’ කියන කාලය තුළ තමයි වැඩිපුර ටෙලිවිෂන් එක බැලෙන්නෙ. එතකොට මේ පීක් අවර්ස්වලත් අපේ නාට්‍ය නැති වෙන තත්ත්වයක් තමයි, දැන් ඇතිවෙලා තියෙන්නෙ. ඒගොල්ලො බලෙන් වෙන වෙන රටවල්වල වෙන වෙන නාට්‍ය දාලා. ඊට පස්සෙ ඒවා ජනප්‍රිය කරවලා ඒවා තමයි පීක් අවර්ස්වල දාන්න ඕනෑ කියන මතය හදලා තියෙනවා.
මේකට මේ වෙනකොට වෘත්තීය මට්මින් ටෙලිවිෂන් වෘත්තීයවේදීන් වෘත්තීය සංගමයක් පිහිටුවාගෙන තිඛෙනවා. ඒ හරහා යම් තරමක ජයග්‍රහණයක් ලබා ගන්න උත්සාහ කරන කාලයක් මේක. ඒක සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සහ මම ඒකට පූර්ණ සහයෝගය ලබා දෙනවා. එහෙම කරන්නෙ විදේශ නාට්‍ය අපිට එපා කියන්න නෙමෙයි. ඒවාට අවශ්‍ය සුදුසු වෙලාවල්වලට සුදුසු විදියට ඒ ‘එයාර් ටයිම්’ එක දෙන්න. වැඩි ප්‍රමාණය ගුණාත්මක ටෙලි නාට්‍යවලට දෙන්න. හැබැයි, ඒ එක්කම ගුණාත්මක ටෙලි නාට්‍ය හදන්න පුළුවන් වාතාවරණයක් හදලා දෙන්න. දෙදාහ අවුරුද්දෙ මුල් කාලෙ එක ‘එපිසෝඩ්එ’ කකට ලක්ෂ දෙකහමාරක විතර මුදලක් ගෙව්වා. මේ වෙනකොට ලක්ෂ එකයි විසිපහ දක්වා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. හැම දෙයක්ම ඉහළ යද්දී ටෙලි නාට්‍ය මුදල අඩුවෙලා. ඒ නිසා මෙතැන ප්‍රශ්නය එක්කෝ ඕනෑකමක් නැතිකම. එහෙම නැත්නම් සිනමාවෙ වගේ වෙන පිරිසකට මේක දෙන්න යනව ද? එහෙම නැත්නම් මේක ‘ඩීල්’ එකක් ද? කියන ප්‍රශ්නය අපට තිඛෙනවා.

කලාවට අත්වෙලා තිඛෙන දේශපාලනික බලපෑම ගැන ඔබ දකින්නෙ කොයි ආකාරයෙන් ද?

ඕක තමයි වැරැදි තෝරා ගැනීම කියලා මම කලිනුත් කිව්වෙ. ඒ කියන්නෙ නුසුදුස්සන් ඒ ඒ තැන්වල සිටීම තමයි හේතුව. ඒක ඇවිල්ලා නළුවෝ, නිළියෝ, අධ්‍යක්ෂවරු විතරක් නෙමෙයි අපි බලමුකෝ බලයක් ලැඛෙන ඡන්දයකින් පාර්ලිමේන්තුවට පත් වෙන ඒ විෂය ධාරාව පරිපාලනය කරන ප්‍රධාන පරිපාලනය. ඒක කාලයක් තිස්සෙම බලන්න කො. පරිපාලනයට එන්න ගත්තෙ ප්‍රසිද්ධ කට්ටිය මිසක් හොඳ කට්ටිය නෙමෙයි නෙ. එතකොට අපි ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ කොහොම ද හරි පරිපාලනයක් ? මම කියන්නෙ මේකට වැරැදි මිනිස්සු. අපේ ඉන්නවා රස්සාවක් මොකුත් නැහැ. පොඩ්ඩක් කෑ කෝ ගහන්න පුළුවන්. මෙන්න ගමේ ඡන්දෙට සෙට් වෙනවා. අපේ යාළුවොත් කියනවා, ‘මචං ගොඩ යනවනං පොලිටික්ස් කරපං.’ ඒ කියන්නෙ පොලිටික්ස් කරන්නෙ තමන්ට ගොඩ යන්න. ඒක තමයි ලංකාවෙ පොලිටික් එක. ඒ තත්ත්වය තියෙනකම් සිනමාව, ටෙලි නාට්‍ය නෙමෙයි කිසිම කර්මාන්තයක් ගැන කවර කතා ද?

අපි මේ සාකච්ඡාවෙ අවසන් කාරණාව විදියට ජාතිවාදය සහ ආගම්වාදය යන ප්‍රවණතාවයන් ගැන කතා කරමු. මෑතක දීත් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුණා. මෙන්න මේ ජාතිවාදී, ආගම්වාදී ප්‍රවණතා ගැන ඔබ දකින්නෙ මොන ආකාරයෙන් ද?

ජාතිවාදය ගැන මගේ අර්ථ දැක්වීමේ විදියක් තියෙනවා. මම කියන්නෙ අපි කවුරුත් ජාතිවාදීයි! ආගම්වාදීයි. ඒ කියන්නෙ තමන් අයිති වන ආගමට පාක්ෂිකයි. මිථ්‍යා මත ගොඩනැඟීමවත්, ඒකට උදවු කිරීම ගැනවත් නෙමෙයි මම කතා කරන්නෙ. ඒ නිසා මගේ ජාතිය ගැන මම ආඩම්බරයි. මම මගේ ජාතිය රකින්න කැමතියි! රකින කට්ටියට කැමතියි. හැබැයි මම ජාතිභේදවාදියෙක් නෙමෙයි. ජාතිභේදවාදය තමයි අපේ තිඛෙන ප්‍රශ්නය. තමන්ගෙ ජාතියට හරි සේ ආදරය කරනවා නම්, තමන්ගෙ ආගමට හරි සේ ආදරය කරනවා නම් ඔහු කිසිවිටෙකත් ජාතිභේදවාදියෙක් හෝ ආගම්භේදවාදියෙක් වෙන්නෙ නැහැ. යම් යම් දේවල් මිනිස්සුන්ගෙන් අමතක කරලා දාන්න, ඒවා මකා දාන්න හරි ලේසියි ජාතිවාදය වගේ ප්‍රශ්න ඇති කළාම. මොකද මේ රටේ වැඩිපුර ජීවත් වෙන්නෙ සිංහල බෞද්ධයො. ඒක හරි. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ මුස්ලිම් හෝ දෙමළ හෝ හින්දු හෝ කතෝලිකයො ශ්‍රී ලාංකිකයො නෙමෙයි කියලා. අපි හරි බෞද්ධයො නම්, අපි අනික් ආගම්වලට ගරු කරන්න ඕනෙ. ඒකයි බුද්ධ පුත්‍රයො වපුරන්න ඕනෑ දේ. කාගෙ හරි දේශපාලනඥයෙකුගේ අවශ්‍යතාවය මත මේවා අවුළවනවා. ඇවිළුවාට පස්සෙ රටේ මිනිස්සුන්ට අනික් ප්‍රශ්න අමතකයි. ඒක නිසා මම කියන්නේ සංකල්පමය වශයෙන් මිනිස්සු ‘මනුෂ්‍ය’ කියන තැනට එන්න ඕනෑ. තව දුරටත් මේ රටේ ප්‍රශ්න, යුද්ධ, මිනීමැරුම්, ජාතිවාදය, ආගම්වාද ඕනෑ නැහැ. ඒ දේවල් තව දුරටත් මේ රටට දරා ගන්න බැහැ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා, ඒ දේවල් වපුරන කට්ටියට ඒක කරන්න එපා කියලා සහ ඒක නැති කරන්න අවශ්‍ය කරන සියලූම දේවල් සංවිධානය වෙලා කරන්න පුළුවන් නම් මමත් පෞද්ගලිකව ඒ දේවල්වලට සහාය දෙන්න කැමැතියි.


භාතිය ගුණසේන