ලංකාවේ ඉඩම් විදේශයන්ට පවරා දීම මේ වන විට උණුසුම් මාතෘකාවක් වී තිබේ. ඒ අතර හම්බන්තොට ඉඩම් චීනයට ලබා දීම මේ මොහොතේ උත්කර්ෂයට නැඟී තිබේ. ඒ වෙනුවෙන් පුළුල් ජනතා විරෝධයක් ද නිර්මාණය වී තිබෙන අතර, ඒ වෙනුවෙන් විශාල උද්ඝෝෂණයක් ද පසුගියදා පැවැත්විණි. ඉඩම් කොල්ලය සම්පූර්ණයෙන්ම හම්බන්තොටට දිශානති වෙද්දී ඒ හා සමානම ඉඩම් කොල්ලයක් මාදුරු ඔය ආශ‍්‍රිතව සිදු වන්නට පිඹුරු පත් සැකසෙන්නේ කාටත් හොර රහසේ ය. මේ සඳහා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම යටතේ ඇති ඉඩම් තෝරාගෙන ඇති අතර පලතුරු, එළවළු හා වාණිජ භෝග වගා කිරීමට මෙම ඉඩම් ලබා දීමට තීරණය කර ඇත. ‘‘1982 වසරේ දී ඉදි කරන ලද මාදුරු ඔය ජලාශය කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ ඉදි කරන ලද ප‍්‍රධාන ජලාශයන්ගෙන් එකකි. පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත‍්‍රික්ක පදනම් කර ගත් මහවැලි ‘බී’ කලාපයේ ඉඩම් හෙක්ටයාර 39,000ක් කෘෂිකාර්මික කටයුතු සඳහා සංවර්ධනය කිරීම එමඟින් අපේක්ෂා කරන ලදී. එහි වම් ඉවුර සංවර්ධන කටයුතු ආරම්භ කර ඉදි කිරීම් නිමවා ඇතත්, මූල්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් නොවීම නිසා දකුණු ඉවුර ප‍්‍රදේශය සංවර්ධනය කිරීම මේ දක්වා ක‍්‍රියාත්මක කරනු ලැබ නොමැත. ඒ අනුව, වසර ගණනාවක් පැවැති යුද්ධයෙන් බලපෑමට ලක්ව අඩාලව පැවති, පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත‍්‍රික්කවල සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා පානීය ජලසම්පාදනය, වාරි ජලසම්පාදනය සහ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කිරීම අරමුණු කර ගනිමින් මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය - 2017 වැඩපිළිවෙළ 2020 වසර වන විට අවසන් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී’’ යනුවෙන් මාදුරු ඔය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල තීරණයක සඳහන් වේ. එම තීරණය ගෙන දින කිහිපයක් ඉක්ම යත්ම ජනාධිපතිවරයා විසින් චීනය සමග ගිවිසුමකට එළඹෙන්නේ මාදුරු ඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය චීනයට කොන්ත‍්‍රාත් දෙමිනි. ඒ පසුගිය වසරේ ඔක්තෝබර් 26 වන දින ය. එහි ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරු වන චීනයේ ක්‍්ඵෑ ඉංජිනියර් සමාගමේ සභාපතිනි ඛමද ශ්බ සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න විසින් ගිවිසුමට අත්සන් තැබීය. ‘පිබිදෙමු පොළොන්නරුව’ වැඩසටහන යටතේ නව ව්‍යාපෘතියක් ලෙස ලබන ජනවාරි මාසයේ දී මෙම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමට නියමිත අතර, 2020 දී එහි වැඩ අවසන් කොට ජනතා අයිතියට පැවරීමට අපේක්ෂිත ය. චීන එක්ෂීම් බැංකුවේ සියයට සියයක ණය ආධාර යටතේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කෙරෙන අතර, ඇස්තමේන්තුගත සම්පූර්ණ වියදම රුපියල් මිලියන 6,969කි. දකුණ ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය සමග අලූතින් තවත් හෙක්ටයාර් 39,000ක් සංවර්ධනය කෙරෙන බව කියවෙන අතර සොරොව්ව මීටර් දෙකකින් උස් කිරීම ද ව්‍යාපෘතියට අයත් ය. ඒ අනුව අතිරේක ජලය ඝන මීටර් මිලියන 229ක ධාරිතාවයකින් ඉහළ යනු ඇත. මෙම සංවර්ධන ව්‍යාපෘතිය සමග ප‍්‍රධාන ඇළ කි.මි 83ක් සංවර්ධනය කෙරෙන අතර බෙදුම් ඇළ මාර්ග කි.මි 900ක් සංවර්ධනය කිරීමට යෝජිතය. මේ අනුව තොප්පිගල, නැගෙනහිර මුහුදු තීරයට සමීප වීම වැනි කරුණු මත මෙම ව්‍යාපෘතිය ආශි‍්‍රතව පාරිසරික සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ද අපේක්ෂා කෙරෙන බව ව්‍යාපෘති යෝජනාවල සඳහන්ය. එළිපිට ජවනිකාව එසේ සිදු වන විට දේශපාලනයේ ද ආනුභාවයෙන් තිරය පිටුපස තවත් ජවනිකාවක් දිගහැරෙමින් පවතින්නේ චීනය ප‍්‍රමුඛ විදේශීය ආයෝජකයන්ට ඉඩම් පවරා දීමට පෙර ඉඩම්වල අයිතිකරුවන් පිරිසක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන විය හැකිය. එවිට සෘජුවම පෞද්ගලික ඉඩම් ලෙස ඒවා පවරා වන්දියක් ද තම හිතමිතුරන්ට ලබා දීම සිදු කළ හැකිය. මෙය හිතළුවක් නොව මේ වන විට ක‍්‍රියාත්මක වීම පටන් ගෙන තිබේ. මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ පේ‍්‍රරණ කලාපයේ තොප්පිගලට යාබද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබෙන රක්ෂිත වනාන්තර ප‍්‍රදේශයේ අක්කර 4,200ක පමණ භූමි ප‍්‍රමාණයක් මේ වන විට නීතිවිරෝධීව එළිපෙහෙළි කරමින් තිබේ. සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් එළිපෙහෙළි කරමින් පවතින භූමියේ ස්ථිර නිවාස 08ක් සහ තාවකාලික නිවාස 500කට අධික ප‍්‍රමාණයක් මේ වන විට ඉදි කර අවසන්ය. මහවනාවෙළ ආරියවංශ හිමි ලෙස හැඳින්වෙන භික්ෂුවක් විසින් මෙම ඉඩම් මංකොල්ලය සිදු කරමින් යන අතර මීට මාස 08කට පමණ පෙර සාදන ලද වෙහෙරගොඩැල්ල රජමහා විහාරය නමැති ස්ථානයක සිට මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටියි. මෙම භික්ෂුවගේ සහයට රංජිත් රාජපක්ෂ නැමැත්තෙක් ද සිටියි. සංවර්ධන ව්‍යාපෘතියක මූලික අදියර ලෙස නිවාස නොමැති පුද්ගලයන් එම භූමියෙහි පදිංචි කරන බව පවසමින් මෙම ඉඩම් මංකොල්ලයට අවශ්‍ය ඉඩකඩ සකසාගෙන ඇත. එය සිදුවන්නේ ද අමුතුම ආකාරයකට ය. පෙර සඳහන් කළ භික්ෂුවට රුපියල් 500.00ක මුදලක් හා රංජිත් රාජපක්ෂ නමැත්තාට රුපියල් 2,000.00ක මුදලක් ලබා දීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත භූමියෙහි පෙන්වා දෙන ස්ථානයකින් ඉඩම ලබා දීම සිදු කරයි. එම භූමියෙහි වගා ආරම්භ කිරීමට කැමති අයෙක් වේ නම් ඒ සඳහා ද අවස්ථාව තිබේ. ට‍්‍රැක්ටර් ගොයම් කපන යන්ත‍්‍ර ආදිය රක්ෂිතය තුළට ගෙන යාම සඳහා රංජිත් රාජපක්ෂට රුපියල් 2,500.00ක මුදලක් ගෙවිය යුතුව ඇත. මෙලෙස කැලෑ ඉඩම් තමන්ගේ බූදලයක් ලෙස මිනිසුන්ට විකුණන භික්ෂුව සහ රංජිත් නැමැත්තා මේ වන තෙක් කිසිදු අයුරක බාධාවකින් තොරව වනාන්තර ප‍්‍රදේශ විනාශ කරමින් සිටියි. වන සංරක්ෂණ දෙපාර්ත- මේන්තුවට අයත් මෙම වනාන්තරය එළිපෙහෙළි කිරීම සඳහා හෝ කුමන ඉදිකිරීමක් සඳහා හෝ කිසිවෙකුටත් අවසරයක් ලැබී නැත. අවම වශයෙන් මහවැලි අධිකාරියට හෝ පවරා ගෙන නැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන පරිදි මාදුරුඔය රක්ෂිතය අවට සිදුවන්නේ පැහැදිලි ලෙසම නීතිවිරෝධී ක‍්‍රියාවකි. නමුත් එම නීතිවිරෝධී ඉඩම් මංකොල්ලය ඉදිරියට කරගෙන යන තුරු වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මුනිවත රකිමින් සිටිනවා පමණක් නොව එයට අත්උදවු දෙමින්ද සිටියි. මෙම ප‍්‍රදේශය පුරාවිද්‍යාත්මකව ඉතා වටිනා ප‍්‍රදේශයක් වන අතර, ආදිවාසී වැදි ජනතාවගේ වාසභූමියක් වන හෙන්නානිගල ජනතාවට පවා මෙම ඉඩම් භාවිතා කිරීමට ඉඩ නොදුන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කැලෑ කැපීමට අවශ්‍ය ඉඩකඩ මෙම වන සංහාරකයන්ට ලබා දී ඇත. එසේම මහවැලි කටයුතු පිළිබඳ ජනාධිපති ලේකම් මහින්ද රත්නායක පවසන පරිදි රක්ෂිත භූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මහවැලි අධිකාරියට පවරාගෙන නොමැති වන අතර, නුදුරේදීම පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුවන බව ද පවසයි. ඒ අනුව නුදුරේ දීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් විශාල ප‍්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතට පත් වනු ඇත. ඒ වන විට ඉහත කී භික්ෂුව සහ රංජිත් නැමැත්තාගේ මැදිහත්වීමෙන් අත්පත් කරගෙන ඇති ඉඩම් ද ඒ යටතට ගැනේ. ඒ වෙනුවෙන් වන්දි ලබා දීමටද සිදුවනු ඇත. පළමු ජාවාරම එලෙසින් සිදු වෙද්දී මෙලෙස කඩිමුඩියේ ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පවරා ගන්නේ මෙහි කොටසක් චීන රජයට පවරා දීමට වන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කර ගැනීමේ සැලැස්මක් මෙහි ඇති බව දැන් හොඳින්ම පැහැදිලිය. ජනාධිපති ලේකම්වරුන්ට හෝ වෙනත් කිසිවෙකුට මෙම ඉඩම් වලට අත තැබීමට හෝ නොහැකිය. 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 2009 අංක 56 දරන සංශෝධිත පනතේ 6 වන වගන්තියේ 2 (ආ* උප වගන්තියට අනුව ගසක් කැපීම, කපා ඉවත් කිරීම පවා තහනම්ය. එහෙත් වන සංරක්ෂණ ආඥා පනත අමු අමුවේ කඩ කළ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි. එපමණක් නොව 1988 අංක 56 දරන සංශෝධිත ජාතික පාරිසරික පනත ඇතුළු අණපනත් නීති පද්ධති ගණනාවක් මේ වන විට මාදුරු ඔය ප‍්‍රදේශය තුළ උල්ලංඝනය වෙමින් තිබේ. පසුගිය කාලයේ හම්බන්තොට ප‍්‍රදේශයේ සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති සඳහා භූමි ප‍්‍රදේශ නිදහස් කර ගැනීම පිණිස එම ප‍්‍රදේශවල සිටි ගවයන් පට්ටි පිටින් මාදුරු ඔය රක්ෂිතය වෙත ගෙනැවිත් දමා ඇත. මේ වන විට මෙසේ ගෙනැවිත් දමන ලද ගවයන්ගේ ප‍්‍රමාණය 11,000ක් පමණ වන අතර, එම ගව පට්ටි බලා ගන්නවුන් ද වනෝද්‍යානය ආශි‍්‍රතව කුඩා පැල්පත් අටවාගෙන ජීවත් වන්නට පටන්ගෙන තිබේ. තම වාසභූමි අහිමි වීමෙන් සහ ආහාර ද අහිමි වීමෙන් අලි ඇතුන් වියරු වැටීම නිරායාසයෙන් සිදු වන්නකි. ලංකාවේ වෙනත් ප‍්‍රදේශවල ගම්බිම්වලට හානි කරන අලි ඇතුන් අල්ලා ගෙනැවිත් දමන්නේ ද මාදුරු ඔය වනෝද්‍යානය වෙතටය. මේ හේතුවෙන් ගැටලූව දෙගුණ තෙගුණ වී තිබේ. මේ වන විට මාදුරු ඔය රක්ෂිතය අවට සිදු වන මෙම එළිපෙහෙළි කිරීම් හේතුවෙන් මහවැලි ‘බී’ කලාපයේ ගම්මාන රැුසකට වන අලි තර්ජනයට මුහුණ දීමට සිදු වී තිබේ. නිදන්විල, දම්මින්න, පුබුදුගම, කන්දේගම, පිඹුරත්තෑව, යන ගම්මාන පවතින්නේ අලි කටේය. අලිමංකඩ ලෙස පවතින ප‍්‍රදේශ නිරාවරණය වන විට වන සතුන් ගම් වදිනවා හැර වෙනත් විකල්පයක් උන්ට නැත. රක්ෂිතයේ වන සතුන් දිය බීමට ඔයට පැමිණෙන්නේ ද එළිපෙහෙළි වන ප‍්‍රදේශයෙන් ය. එම නිසා මාදුරු ඔය රක්ෂිත ප‍්‍රදේශයේ සිදු වන මෙම දැවැන්ත පාරිසරික සංහාරය ප‍්‍රදේශයේ අලි ඇතුන්ගේ වාසභූමි අහිමි කරනවා පමණක් නොව මාදුරු ඔය රක්ෂිතයේ හා පේ‍්‍රරණ කලාපයේ ජෛව විවිධත්වයට ද බරපතල තර්ජනයක් එල්ල කර තිබේ. පෙර දී හෙක්ටයාර 20,000ක පමණ වනාන්තර කපා එළිපෙහෙළි කර මහවැලි ‘බී’ කලාපයට අවශ්‍ය ඉඩම් ලබා ගන්නා ලදී. ඉන් අනතුරුව හෙක්ටයාර 58,888ක ප‍්‍රමාණයක් අත්‍යවශ්‍යයෙන් සංරක්ෂණය කළ යුතු ප‍්‍රදේශයක් ලෙස සලකා මාදුරු ඔය ජාතික වනෝද්‍යානය ස්ථාපිත කරන ලදි. එලෙස ස්ථාපිත කරන ලද්දේ අලි ඇතුන් ඇතුළු සත්ව ප‍්‍රජාව හා වනාන්තර ආරක්ෂා කර වනෝද්‍යානය අවට ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් ය. මෙහි අවසාන ජවනිකාව වන්නේ පසුගිය අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවයි. ජනතාව නොමඟ යැවීමට කොළේ වසා සිදු කළ මෙම යෝජනාවෙන් කියැවෙන්නේ මාදුරු ඔය ප‍්‍රදේශයේ ඉඩම් වගා කටයුතු සඳහා ලබා දෙන බවයි. ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා ඉඩම් අක්කර දහසකට වඩා වැඩියෙන් වගා කළ හැකි ‘ගොවියෙකුට’ මෙම ඉඩම් බදු පදනම මත ලබා දෙන බවයි. මෙහි ඇති පළමු කාරණාව වන්නේ අක්කර දහසකට වඩා වැඩියෙන් වගා කළ හැකි ගොවියෙකු සොයා ගැනීමයි. ලංකාව තුළ එවැන්නෙකු සොයා ගත නොහැකි බව විචාර බුද්ධිය ඇති ඕනෑම අයෙකුට ඉතා පැහැදිලි කරුණකි. එසේ නම් මේ පිඹුරු පත් සැකසෙන්නේ දේශීය හෝ විදේශීය මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මාදුරු ඔය වන රක්ෂිතයේ අයිතිය ලබා දීමට ය. මේ වන විටත් සෝමාවතිය අභය භූමියේ ඉඩම් ලෙට්ස් ඇග්‍රො සහ ඩෝල් සමාගම වෙත පවරා ඇති පරිද්දෙන්ම එය සිදුවනු ඇත. මේ අනුව ඉතාමත් පැහැදිලිව පෙනී යන කරුණ නම් මාදුරුඔය අභය භූමියේ අක්කර 20,000ක ප‍්‍රදේශයක් බරපතල අවදානමකට මුහුණ දී ඇති බවයි. දේශීය ජාවාරම්කාරයන්ගේ ද, සියල්ල විදේශිකයන්ට විකුණා දැමීමට සැරසෙන වර්තමාන ආණ්ඩුවේ ද හම්බන්තොටට පසු ඉලක්කය වී ඇත්තේ මාදුරුඔයයි. දැනටත් පියවරෙන් පියවර එය ඉදිරියට ගමන් කරමින් තිබුණ ද, ජනතාව බහුල ප‍්‍රදේශයක් නොවන නිසා පුළුල් ජනතා විරෝධයක් ඒ සම්බන්ධයෙන් ගොඩනැඟී නොමැත. එසේම සිදුවීම් එකිනෙකට වෙනස් නිසා සිදු වන්නේ කුමක්දැයි හරිහැටි අවබෝධ කර ගැනීමට ද නොහැකි වී තිබේ. කෙසේ වුවද සියල්ල අනතුරට ලක් කරමින් මාදුරු ඔය රක්ෂිතයට කරන්නා වූ මෙම දැවැන්ත සංහාරය හමුවේ පරිසර ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මෙම සංහාරය නැවතීම වෙනුවෙන් ඉතා ඉක්මනින් පියවර ගත යුතුව ඇත. එහෙත් ගැටලූව ඇත්තේ වැටත් නියරත් ගොයම් කන්නේනම් විසඳුම් සොයන්නේ කවුරුන්ද යන්නයි. .