මී ළඟ ජනාධිපතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් වර්තමාන ජනාධිපතිවරයා ම නම් කිරීමට විරෝධය පළ කරමින්, හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා කුමාරතුංග මාධ්‍ය හමුවක දී අදහස් දැක්වීම නිසා තවත් ගැටීමක් ඇතිව තිබේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව එම තීරණය ගන්නා ලද බව දුමින්ද දිසානායක හෙළි කළ පසු හිටපු ජනාධිපතිවරිය ප‍්‍රකාශ කර තිබුණේ ”ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය එහෙ ම තීරණයක් ගෙන නැහැ. එක එක්කෙනා එක එක කතා කියනවා.” යනුවෙනි. චන්ද්‍රිකා මාධ්‍ය හමුවක් පවත්වමින්, කරන ලද මෙම ප‍්‍රකාශයෙන් පසුව ඇමති, එස්. බී. දිසානායක, දයාසිරි ජයසේකර, විජිතමුණි සොයිසා යන ඇමතිවරුන් ප‍්‍රසිද්ධියේ අවධාරණය කර තිබුණේ මී ළඟ ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන නම් කර තිබෙන බවත්, පක්‍ෂයේ තීරණය ඔහු පිළිගත යුතු බවත් ය. පසුගිය වසරේ නෙළා ගත් වී අස්වනුවලින් විශාල තොගයක් පෞද්ගලික ගබඩාවල සහ වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල තිබෙන අතර, විශාල සහල් තොගයක් ද එම දෙඅංශයේ ම තිබිය දී, සහල් කිලෝවක මිල රුපියල් සියයකට ළඟ වී තිබේ. වේගයෙන් ඉහළ යමින් පවතින හාල් මිල පාලනය කරමින්, ආහාර සුරක්‍ෂිතතාවය ඇති කිරීම සඳහා සහල් ආනයනය කිරීමේ අවසරය පෞද්ගලික අංශයට ලබා දීමට පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනි දින කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණි. පවතින නියඟය හමුවේ ඇති විය හැකි දැඩි ආහාර හිඟයට මුහුණ දීම සඳහා කොළ වර්ග ආහාරයට ගැනීමේ යෝග්‍යතාවය පිළිබඳව කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයා කරුණු ඉදිරිපත් කරන තරමට තත්ත්වය බරපතල ව තිබිය දී, මෙම සහල් තොගය අතුරුදහන් වීම පිළිබඳව තොරතුරු හෙළි වී තිබේ. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ලංකා සතොස පවතින අතර, රිෂාඞ් බදියුදීන් එහි ඇමතිවරයා ය. .