සේවක අර්ථසාධක අරමුදලේ (ඊ.පී.එෆ්.) මුදල් මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී ප‍්‍රාථමික වෙළෙඳපොළෙන් මිල දී නොගෙන බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් තැරැුවුකාර සමාගම හරහා ලබා ගැනීම නිසා රුපියල් කෝටි 1,500ක අලාභයක් එම අරමුදලට සිදුව ඇති බව හෙළි වේ. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය කළමනාකරණ අධීක්‍ෂණ මණ්ඩලය විසින් සකස් කරන ලද අභ්‍යන්තර වාර්තාවක් එම බැංකු අධිපති, ඉන්ද්‍රජිත් කුමරස්වාමි විසින් මුදල් මණ්ඩලයේ අවධානය සඳහා ලබා දී තිබිය දී මෙම තත්ත්වය හෙළි වී තිබේ. එම වාර්තාව අධිපතිවරයා විසින් ඉක්මනින් නැවත ලබාගෙන ඇත. පසුගිය 2015 ජනවාරි මස 01 වැනිදා සිට 2016 ජුනි මස 30 වැනිදා දක්වා අර්ථසාධක අරමුදල බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන මුළු මුදලින් සියයට 95ක් පමණ පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම හෙවත් හිටපු මහ බැංකු අධිපතිවරයාගේ බෑනාගේ සමාගමෙන් ලබාගෙන තිබේ. මෙම කරුණු අනුව අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනයෙන් ලැබෙන ප‍්‍රතිලාභ පහළ වැටී එම ආයෝජනය පිළිබඳ විශ්වාසය බිඳවැටීමෙන් අරමුදල අනතුරුදායක තත්ත්වයට පත්ව තිබේ. මෙම තත්ත්වය තුළ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපතිවරයාට ලිපි තුනක් යොමු කරමින්, අරමුදලේ සුරක්‍ෂිතභාවයට අදාළ තොරතුරු අන්තර් සමාගම් සේවක සංගමය විසින් ඉල්ලා ඇත. තුන්වැනි වර යවන ලද ලිපියෙන් අර්ථසාධක මුදල් බැඳුම්කරවල යෙදැවීම පිළිබඳ වැදගත් තොරතුරු කීපයක් ලබන 18 වැනි දිනට පෙර ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර, එම තොරතුරු ලබා නොදුණහොත්, මහ බැංකුවේ වංචනික කි‍්‍රයාවලියට විරුද්ධව අඛණ්ඩ විරෝධතාවයක් අරඹන බවට අනතුරු ඇඟවීමක් ද කර තිබේ. ඉල්ලා ඇති තොරතුරු අතර, 2015 ජනවාරි මස 01 වැනි දින සිට 2016 ජුනි මස 30 වැනි දින දක්වා කාලය තුළ සේවක අර්ථසාධක අරමුදල බැඳුම්කර ද්වීතියික වෙළෙඳපොළෙන් ලබාගෙන තිබෙන බැඳුම්කර ආයෝජන ප‍්‍රමාණය කොපමණ ද සහ ද්විතීයික වෙළෙඳපොළෙන් ලැබෙන පොලී අනුපාතිකයන් සහ සෘජුව ම වෙන්දේසියෙන් මිල දී ගත්තේ නම්, ලැබීමට නියමිත වූ පොලී අනුපාතය කොපමණ දැයි යන කරුණු වේ. අර්ථසාධක අරමුදලේ මුදල්වලින් සියයට 92.7ක් ආයෝජනය කර තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත්වල ය. 2015 වර්ෂය අවසාන වන විට එම මුදල රුපියල් කෝටි එක්ලක්‍ෂ හතළිස්අට දහස් හත්සියය (රු. කෝටි 1,48,700*ක් ය. එවැනි අති විශාල ආයෝජනයක දී පොලිය දශම එකකින් අඩු වේ නම්, ලැබෙන ලාභය රුපියල් කෝටි 148කින් පහත වැටේ. මෙවැනි තත්ත්වයක් තුළ අර්ථසාධක අරමුදලට සෘජුව ම බැඳුම්කර වෙන්දේසියට සහභාගී වී ආයෝජන කළ හැකිව තිබිය දී වක‍්‍රව ද්විතීයික වෙළෙඳපොළෙන් බැඳුම්කර ගැනීම නිසා අති විශාල මූල්‍ය අලාභයක් සිදු වේ. මේ අතර පසුගිය මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ කොටස් වෙළෙඳපොළ ජාවාරම් කිරීම සඳහා අර්ථසාධක මුදල් රුපියල් කෝටි 9,660ක් යොදවා තිබිණි. මෙයින් අති විශාල මුදලක් සඳහා කිසිදු ප‍්‍රතිලාභයක් හිමි නොවී තිබෙන බව අනාවරණය වේ. ‘ශී‍්‍ර ලංකන් එයාර් ලයින්’ සමාගමේ කොටස් මිල දී ගැනීම සඳහා යොදවන ලද මුදල්වලට කිසිදු ප‍්‍රතිලාභයක් හිමිව නොතිබීම උදාහරණයක් ය. .