අලූත්ගම දී මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් ප‍්‍රහාර දියත් කරන ලද්දේ මේ වන විට ද මහින්ද රාජපක්‍ෂ සමඟ කටයුතු කරන පිරිසක් බව ඩිලන්ත විතානගේ විසින් බී.බී.සී. ‘සන්දේශය’ට හෙළි කර තිබේ. මුස්ලිම් ජනතාවට එරෙහිව අන්තවාදී මත පළ කරමින්, පසුව අලූත්ගම සහ වෙනත් ප‍්‍රදේශ කිහිපයක දී ප‍්‍රහාර දියත් කළ අන්තවාදී සංවිධාන කිහිපයක් රාජපක්‍ෂ පාලන සමයේ කි‍්‍රයාත්මක විය. ඩිලන්ත විතානගේ නම් පුද්ගලයා ඒ අතර තිබෙන ‘බොදු බල සේනා’ සංවිධානයේ විධායක නිලධාරි වශයෙන් පෙනී සිටිමින්, මහින්ද රාජපක්‍ෂට එරෙහිව මෙම ප‍්‍රකාශය කර තිබේ. මහින්ද රාජපක්‍ෂ ඇතුළු රාජපක්‍ෂවරුන් සහ මෙම අන්තවාදීන් අතර කිසියම් ගැටුමක් මෑත දී ඇතිව වර්ධනය වී පසුගිය දෙසැම්බර් 29 වැනිදා මහින්ද රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා විදෙස් මාධ්‍ය වාර්තාකරුවන් හමුවේ කරන ලද ප‍්‍රකාශකයකින් ගැටුම පුපුරා ගොස් තිබිණි. බොදු බල සේනා සංවිධානය හා චම්පික රණවක එක්සත් ජාතික පක්‍ෂය සමඟ එක් වී කටයුතු කළ නිසා තමා පරාජය වූ බව මහින්ද රාජපක්‍ෂ චෝදනා කර තිබිණි. එම චෝදනාවට වහා ම ප‍්‍රතිචාර දක්වමින් ඩිලන්ත විතානගේ ප‍්‍රකාශ කර තිබුණේ 2015 ජනාධිපතිවරණයේ දී තම සංවිධානය මහින්ද රාජපක්‍ෂගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කි‍්‍රයා කළ බව ය. ”ඒ ඉතිහාසය හිටපු ජනාධිපතිතුමාට සම්බන්ධ කවුරුනුත් දන්නවා” යනුවෙන් පිළිතුරු දී තිබිණි. වැඩි දුරටත් පැහැදිලි කර තිබුණේ, ”මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා, දැන් ඔහු වටා සිටින පුද්ගලයන්ගේ කීම් අනුව එවැනි ප‍්‍රකාශ කරනවා. අපි ඒ ගැන කනගාටු වෙනවා” යනුවෙන් ය. ”ඔවුන්ගේ ගෝලයෝ දැනුත් එකට ඉන්න දැනුත් අපට විරුද්ධව කතා හදන කණ්ඩායමක් තමයි, ඒ පහර දීම කළේ කියලා අපට සාක්‍ෂි තිබෙනවා” යැයි බරපතල හෙළි කිරීම් ඩිලන්ත විතානගේ කර තිබිණි. .