‘ලංකා’ 15 වැනි වර්ෂ පූර්ණය වෙත ළඟා වී තිබේ. මේ දක්වා විවිධ දුෂ්කරතා, බාධක, ඇදවැටීම් රැුසකට මුහුණ පෑමට සිදු වුව ද, අප ආවේ ඉදිරියට ය. කිසිවිටෙක පසුපසට නොගියේය. 15 වැනි කඩඉම ද අපගේ වැදගත් සන්ධිස්ථානයක් කර ගැනීමට අප අවධානය යොමු කළේ හේතු කිහිපයක් නිසාවෙන්ය. පසුගිය කාලසීමව පුරා ම පාඨකයන් වෙතින් පුවත් පත පිළිබඳව අදහස් යෝජනා, චෝදනා රැුසක් ඉදිරිපත් විය. ඒ අතර කාලීන සමාජ - දේශපාලන අවශ්‍යතාවයන් ද පැවැතිණි. වඩ වඩාත් ජනතාව අතරට යාමේ වුවමනාව ද නිරන්තරයෙන් අප පෙළමින් තිබිණි. මේ සියල්ල ම එක් වූ කල ‘ලංකා’ නව පියවර 15 වර්ෂ පූර්ණයේ දී ම ගැනීමට අප තීරණය කළෙමු. සියල්ල කුණු මාළු කැබලි වෙමින් පවතින ජරාජීර්ණ සමාජ ක‍්‍රමයක ජනමාධ්‍ය පමණක් ඉන් නිදහස් වන්නේ යැයි අප සිතන්නේ නැත. අද බොහෝ මාධ්‍ය ආයතන, පුවත් පත් එයට ගොදුරු වී තිබේ. වෙළෙඳපොළ ම අරමුණු කරගෙන පෑන හැසිරවීමත්, පුවත් පත් කිරීමත් කිසිසේත් ම මාධ්‍ය කලාව යැයි අප සලකන්නේ නැත. ඒ අනුව ධනකුවේරයන් පිනුම් ගසනා ඉසව්වේ බොහෝ ජනමාධ්‍ය සහ ජනමාධ්‍යකරුවන් ඒවායේ රූකඩ බවට පත් නියමින් හා අනියමින් පාලකයන්ට ස්තෝත‍්‍ර ගායනා කරමින් සිටිති. ඒ අනුව විවිධ මල්වෙඩි සංදර්ශන ද ඇත. බොහෝ දෙනා ඒවායින් දෑස් නිලංකාර කරගෙන ද සිටිති. වැඩ බිමේ දහදිය හෙළන, ගොවි බිමේ මහ පොළොව සමඟ පොරබදන, පාසලේ, සරසවියේ අපමණ දුක්කම්කටොලූ මැද අකුරු කරන මහ සයුරේ රළ සමඟ ජීවන සටනේ යෙදෙන අප සමාජයේ අසාධාරණයට, අයුක්තියට ලක් වන සුවහසක් දනන්ගේ හඬ වීමට අපට වැඩි වැඩියෙන් අවශ්‍යය. ඒ ඔවුන්ගේ හඬට සැබෑ අවංක ඉඩක් නොමැති නිසාය. ඔවුන්ගේ හඬට පවා මිලක් නියම කර වෙළෙඳ පොළේ අලෙවි කිරීමට උත්සාහ දරන නිසාය. ‘ඇහුවොත් සල්ලි’ දෙන මාධ්‍ය කලාවක් බිහිව ඇති නිසාය. ඒ අතර ම රට ගැන ජනතාව ගැන මුළු මහත් මිනිස් වර්ගයා හා ලෝකයා පිළිබඳව ගැඹුරින් සිතන සියල්ල විනිවිද දකින පළල් මනස් සහිත මිනිසුන් මේ බිමේ නැතුවා නොවේ. ඔවුන්ගේ සැබෑ මානවවාදී ආමන්ත‍්‍රණයට අප වේදිකාවක් විය යුතුමය. මේ මහා අඳුරු අගාධයෙන් ගොඩ ඒමට අප සමාජයට එවන් ආලෝක ධාරාවක් අත්‍යවශ්‍ය නිසාය. එළැඹෙන්නේ 69 වැනි නිදහස් දිනය යැයි කියනු ලැබේ. මේ වසර 69 පුරාවට ම ජනතාව බොහෝ බලාපොරොත්තු සහගතව පාලකයන් පත් කර ගත්හ. ‘ජනවරම්’ ප‍්‍රකාශයට පත් කළහ. ධර්මිෂ්ට සමාජය, සාමය හා සමෘද්ධිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය ආදී මෙකී නොකී බොහෝ සංකල්ප මතු වී නොපෙනී ගියේය. ළඟ දී මතු වූ යහපාලනය දැන් නොපෙනී යමින් තිබේ. රටක් ලෙස අපි මහත් අගාධයකට තල්ලූ වෙමින් සිටිමු. ඒ වසර 69ක පාලනයන්ගේ අපට ඉතිරි වී ඇති ශේෂ පත‍්‍රයයි. රටක් ලෙස අප තව කොතෙක් දුර මේ රැුවටිලිකාරී, ව්‍යාජ මාවතේ ගමන් කරනවා ද? අපගේ විශ්වාසය නම්, දැන්වත් අප එය අවසන් කළ යුතුව තිබෙන බවය. ඒ වෙනුවෙන් වූ සැබෑ මිනිසුන්ගේ වුවමනාවන් පෙළගැස්විය යුතුය. එවන් සමාජ බලවේග සැබෑ වුවමනාවන් වෙනුවෙන් හඬ නඟමින් සිටිති; අරගල කරමින් සිටිති. එකී වුවමනාවන් සමාජ දේශපාලන බලයක් බවට පත් කළ යුතුය. ඒ හැර මේ අඳුරු අගාධයෙන් ගොඩ ඒමට වෙන කවර විකල්පයක්වත් නොමැත. ඒ නිසා අප අපේ පෑන් මෙහෙයවන්නේ ඒ අරමුණ සහිතවය. එහි අපට සඟවන්නට දෙයක් ඇත්තේ නැත. වඩා යහපත් සමාජයක් අපේක්‍ෂා කරන අප එය හුදු ප‍්‍රාර්ථනාවක් නොවී යථාර්ථයක් කිරීම වෙනුවෙන් පුවත් පතක් ලෙස අපට කළ හැකි උපරිම දේ කරන්නෙමු. ඊට එරෙහි වන කවරම ආකාරයේ බාධාවකට වුව එරෙහිව කොන්දේසි විරහිතව සටන් කිරීමට අප සූදානම්ය. බොහෝ මාධ්‍ය භාවිතාවන්ගෙන් වෙනස් වන අපේ මාධ්‍ය කලාව එයයි. ඉතින්, ආදරණීය පාඨකයනි, 15 වැනි කඩඉමේ සිට අපේ සහෝදරාත්මක දෑත් වඩා වැඩි උණුසුමකින් හා ශක්තියකින් ඔබ වෙත දිගු කරන්නෙමු. .