මෛතී‍්‍ර මොරගහකන්ද සිහිනය සැබෑ කර ගත්තේ ය. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙහි විශාල ම ජලාශය වශයෙන් හැඳින්වෙන මොරගහකන්ද ව්‍යාපෘතියෙහි වැඩ ආරම්භ වූයේ දසවසරකට පෙර ය. 60,000කට ආසන්න ජනතාවකට මෙම ව්‍යාපෘතියෙන් සෙත සැලැසෙන බව පැවසෙන්නේ ය. වර්ග කිලෝ මීටර් 30කට ආසන්න ප‍්‍රදේශයක සුන්දර නිම්න භූමියක් ජලාශයට යට වන අතර, ඒ අනුව 3,000කට අධික ජනතාවකට තමන් පාරම්පරිකව හැදී වැඩුණු භූමිය අහිමි වන්නේ ය. ප‍්‍රදේශයේ ජීවත් වන ජනතාව මේ තාක් කුමන දරිද්‍රතාවයන් යටතේ වුව ද, තම ජීවිකාව සරි කර ගනිමින්, නිදහස් ජීවිතයක් ගතකළ අය වූහ. ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමඟ තම ඉඩකඩම් හා නිවාස ජලාශය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට අකැමැත්තෙන් වුව ද ඔවුන් කැමැත්ත ප‍්‍රකාශ කරනුයේ, ඒ වෙනුවට ඔවුනට ලබා දෙන බවට බලධාරීන් විසින් පොරොන්දු දුන් දහසින් බැඳි පියලි හා වඩා යහපත් ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තු හේතුවෙනි. එසේ වුව ද, තත්ත්වය මේ වන විට ඇත්තේ, එයට හාත්පසින් ම වෙනස් ස්වරූපයෙනි. සිය පදවිප‍්‍රාප්තියෙන් තුන් දිනක ඇවෑමෙන් ජනපති මෛතී‍්‍ර සිය සිහිනය සැබෑ කර ගත්ත ද, ව්‍යාපෘතිය හේතුවෙන් කැප කිරීම් කළ ජනතාවට ඔවුන් ඉදිරියේ මවා පෙන් වූ සිහින පාරාදීසය අහිමි වී ගොස් ය. 1977 මෙරට නව ලිබරල්වාදී ආර්ථිකය රෝපණය කළ ජේ. ආර්. ජයවර්ධන ද ජනතාව ඉදිරියේ මෙවැනි ම සිහින පාරාදීසයක් මවා පෙන්වී ය. එකල ඉදි කළ වික්ටෝරියා, රන්දෙණිගල වැනි ජලාශ ආශ‍්‍රයෙන් නිපදවනු ලබන විදුලිය ඉන්දියාවට ද ලබා දිය හැකි බවට වූ ප‍්‍රකාශ එකල අසන්නට ලැබිණි. ප‍්‍රකාශ කළ පරිදි මෙරට ජනතාවගේ ජීවිත මඳකින් හෝ උසස් තත්ත්වයකට පත් කළ නොහැකි වූ අසාර්ථක ව්‍යාපෘතීන් බවට අද වන විට එම ව්‍යාපෘතීන් පත්ව තිබේ. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට අදාළව සිදු කළ ශක්‍යතා අධ්‍යයනයේ දී අසාර්ථක ව්‍යාපාරයක් වනු ඇති බවට නිගමනය කර ඇති මොරගහකන්ද ව්‍යාපෘතියෙහි ආනිශංස ද දැක බලා ගත හැකි වනුයේ, අනාගතයේ දී ය. ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා ප‍්‍රදේශයේ ජනතාවට මුහුණ දීමට සිදු වී තිබෙන කම්කටොලූ සලකා බලන විට අනාගතය පිළිබඳව ද සුභදායී බලාපොරොත්තු තබා ගැනීම ද අසීරු වී තිබේ. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඒ වෙනුවෙන් සෘජුව ම කැප කිරීම් කළ ප‍්‍රදේශයේ ජනතාවට අල්පමාත‍්‍රයක හෝ ප‍්‍රතිලාභයක් හිමි නොවේ. ඔවුනට මේ වන විට වගා කළ ඉඩකඩම් අහිමිව තිබේ. ඒ වෙනුවට ලබා දුන් වාරි ඉඩම් සඳහා මෙම ව්‍යාපෘතියේ ජලය බිඳකුදු නොසැපැයේ. ඒ සඳහා වාරිමාර්ග පද්ධතියක් හෝ සැකැසී නැත. ඒ හේතුවෙන් මේ තාක් ඉමහත් දුක් ගැහැට මධ්‍යයේ වුව ද, තම ජීවනෝපාය තමන් විසින් ම සකසා ගත් ජනතාවක් අද ආණ්ඩුව විසින් දෙන වියළි ආහාර සලාකය දෙස බලා සිටින තත්ත්වයක් නිර්මාණය වී ඇත. අවතැන් වූ ජනතාවට කුඹුරු ඉඩම් සඳහා ජලය ලබා දෙනුයේ කළු ගඟ යෝජනා ක‍්‍රමය යටතේ බව පැවසේ. එහෙත්, එය කොතෙක් කාලයකින් ද යන්න නිශ්චිතව නොමැත. එතෙක් මෙම ජනතාව තම දිවි සරිකර ගනු ලබනුයේ කෙසේ  ද යන ප‍්‍රශ්නයට පාලකයන්ට විසැඳුම් නොමැත. 2007 ජනවාරි මස 25 වැනි දින මොරගහකන්ද ව්‍යාපාරයට මුල් ගල තබන විට තක්සේරු කළ වන්දි ප‍්‍රමාණවත් නොවීම සහ වන්දි ලබා දීමේ දී සිදු වූ අයථා කි‍්‍රයාකාරකම් හේතුවෙන් ප‍්‍රමාණවත් වන්දි මුදලක් ලබා ගැනීම සඳහා අගතියට පත් ජනතාවට නොයෙක් විට අරගල කිරීමට සිදු විය. ඔවුන් මේ තාක් ලබා ගත් යමක් වේ නම්, ඒ එම අරගල හේතුවෙන් ම බව කිව යුතු ය. කෙසේ වුව ද, නැවත තක්සේරු කිරීමෙන් පසුව ආණ්ඩුව විසින් ගෙවීමට එකඟ වූ සියයට පනහක වන්දි මුදල මේ තාක් ලබා දී නොමැති අතර, එය කොටස් වශයෙන් ගෙවීමට ආණ්ඩුව සූදානම් වීම පිළිබඳව ජනතාව අතර ඇත්තේ විරෝධයකි. මන් ද, අවතැන් වූ ජනතාව වෙනුවෙන් පැවැති හා පවතින ආණ්ඩුව මේ තාක් කටයුතු කර ඇත්තේ, විශ්වසනීය ආකාරයෙන් නොවේ. ඒ හේතුවෙන් මෙම වන්දි ලබා දීම ද කොතෙක් කාලයක් ඇදී යනු ඇති ද යන්න ජනතාවට ඇත්තේ සැකයකි. ව්‍යාපෘතිය ආරම්භ කළ කාලයට සාපේක්‍ෂව මුදලේ වටිනාකම ශීඝ‍්‍රයෙන් අවප‍්‍රමාණය වීමත්, ඒ හේතුවෙන් ලැබෙන වන්දි මුදලෙන් ඉටු කර ගත හැකි කාර්යයන් සීමිත වීමත් හේතුවෙන් මෙම වන්දි මුදල එකවර ලබා දෙන මෙන් ඔවුහු ආණ්ඩුවට බල කරමින් සිටිති. අවතැන් වූවන් වෙනුවෙන් මේ තාක් ලබා දුන් වියළි ආහාර සලාකය වෙනුවෙට මුදල් ලබා දීමේ සූදානමක් පවතින අතර, එය මෙතෙක් ද්‍රව්‍යමය වශයෙන් ලබා දෙන සහනාධාරයට බෙහෙවින් අඩු මුදලක් වන ඇති බව ද අවතැන් ජනතාව ප‍්‍රකාශ කර සිටී. ආණ්ඩුව විසින් මේ වන විට ද වියළි ආහාර සලාකය ලබා නොදෙන තත්ත්වයක් යටතේ ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කර ජලාශයේ දොරටු වැසීමත් සමඟ තමන් පිළිබඳ ඉදිරියේ දී මුළු මනින් ම නොසලකා හරිනු ඇතැයි ජනතාව චෝදනා කරති. අවතැන් වූ අනු පවුල් පිළිබඳ ගැටලූව ද මෙම ජනතාවට බලපාන ප‍්‍රබල ප‍්‍රශ්නයක්ව පවතී. ආණ්ඩුව විසින් මුල දී 2008 තෙක් එම භූමියෙහි පදිංචිව සිටි ජනතාවට ඉඩම් හා වන්දි ලබා දීමට කටයුතු කළ අතර, ජනතා විරෝධය හේතුවෙන් නැවත එය 2011 වසර දක්වා දීර්ඝ කර තිබේ. එයට එරෙහිව නැවතත් ජනතාව නැඟී සිටීමත් සමඟ එම කාලසීමාව 2015 දක්වා දීර්ඝ කර තිබේ. කෙසේ වුව ද, ආණ්ඩුව පොරොන්දු දුන් පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් මෙම ගැටලූසහගත තත්ත්වයන් ඇති වී තිබේ. නැවත පදිංචි කරවන ලද ජනතාවගේ ¥ දරුවන්ට අවශ්‍ය කරන පෙර පාසල් සහ අධ්‍යාපන පහසුකම්, විහාරස්ථාන, ප‍්‍රජා ශාලා ආදී යටිතල පහසුකම් කිසිවක් පිහිටුවීමට ආණ්ඩුව විසින් මේ තාක් කටයුතු කර නොමැත. අවතැන් වූ ජනතාව නොයෙක් විට ඉල්ලීම් කළ ද, පාලකයෝ තාවකාලික පැලැස්තර විසැඳුම් සපයනු හැරුණු කොට ගැටලූවට ස්ථිර විසැඳුම් ලබා දීමට මේ වන තෙක් අපොහොසත්ව සිටිති. මේ හේතුවෙන් පසුගිය 8 වැනිදා ඔවුහු තම ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග‍්‍රහයකට මුලපිරී ය. එය කොතෙක් දුරට පවත්වාගෙන යාමට ඉඩ හරිනවා ද යන්න පාලකයන් සතු කරුණකි. මෙතෙක් මෙරට පාලනය කළ පාලකයන් විසින් ජනතාව වෙත පටවන ලද සංවර්ධන ව්‍යාපෘතීන්හි ප‍්‍රතිඵල යහපත් විණි නම්, මෙරට ජනතාවගේ ජීවන තත්ත්වයන් වර්තමානයේ දී වඩා උසස් තත්ත්වයක පැවැතිය යුතු ය. එහෙත්, සිදු වී ඇත්තේ එයට හාත්පසින් ම වෙනස් තත්ත්වයක් වන අතර, එවැනි තත්ත්වයක් යටතේ දී මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය පමණක් සුවිශේෂී තත්ත්වයක් අත්කරගනු ඇතැයි විශ්වාස කළ නොහැක. ප‍්‍රධාන වශයෙන් ම මෙම වාරි ව්‍යාපෘති සියල්ලක් ම මෙරට වර්ෂා රටාව මත ම රැුඳී පවතී. ඒ අනුව ප‍්‍රධාන සාධකය වර්ෂාව වුව ද, මේ වන විට ශී‍්‍ර ලංකාව සතු වනවැස්ම ශීඝ‍්‍රයෙන් විනාශමුඛයට ඇද දමමින් තිබේ. දේශපාලකයන්ගේ පූර්ණ අනුග‍්‍රහය සහ අනුදැනුම මත සියලූ වනාන්තර විනාශ කරමින් තිබේ. විශාල වාරි ව්‍යාපෘති කි‍්‍රයාත්මක වන අතරතුරේ එම තත්ත්වය මෙම ව්‍යාපෘතීන්හි අසාර්ථක භාවය කෙරෙහි සෘජුව ම බලපෑම් ඇති කර තිබේ. ඉතිහාසය පුරා පාලකයන් තම අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් ජනතාව හමුවේ තබන සිහින ඔවුන්ගේ කූට අරමුණු සාක්‍ෂාත් කර ගැනීම වෙනුවෙන් ම පමණක් වන බව මෙරට ජනතාව මේ තාක් අවබෝධ කර නොගැනීම කනගාටුවට කරුණකි. මෙතෙක් බලයට පත් කිසිදු පාලකයකු ජනතා සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කර නොමැති බවට ඉතිහාසය සාක්‍ෂි දරන අතර, වර්තමානය මෙන් ම අනාගතය ද එසේ නොවීමට කටයුතු කිරීමේ වගකීම ඇත්තේ, මෙරට ජනතාව සතුව ම ය. .