කුප‍්‍රකට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ දී සේවක අර්ථසාධක අරමුදලට රුපියල් කෝටි 1,500ක පාඩුවක් සිදු කිරීමට විරෝධය පළ කරමින්, දැවැන්ත උද්ඝෝෂණයක් පසුගිය 19 වැනිදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි. සේවක අර්ථසාධක අරමුදල යනු විශ‍්‍රාම වැටුප් නොලබන මෙරට අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක, සේවිකාවන්ගේ මුදලින් ගොඩනැඟුණු විශාලතම විශ‍්‍රාම අරමුදල වන අතර, ජීවිතයේ සැඳෑ සමයේ දී විශ‍්‍රාම ලැබීමෙන් අනතුරුව තම දිවිපැවැත්ම වෙනුවෙන් එම සේවකයන් බලාපොරොත්තු තබා ඇත්තේ, සේවක අර්ථසාධක අරමුදල කෙරෙහි ය. කෙසේ වුව ද, මේ වන විට එම අරමුදල සතු මුදල් කුප‍්‍රකට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ දී අවභාවිත වී ඇති බවට පැහැදිලි තොරතුරු සාක්‍ෂි සහිතව හෙළිදරවු වී හමාර ය. එම ගනුදෙනුවේ දී වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ගජමිතුරු, හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් හා ඔහුගේ බෑනණුවන් වන අර්ජුන් ඇලෝසියස් සතු පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බැඳුම්කර මිල දී ගැනීමට අදාළව තම දේශපාලන බලපුළුවන්කාරකම් භාවිත කරමින්, සේවක අර්ථසාධක අරමුදලෙහි මුදල් පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් බැඳුම්කර මිල දී ගැනීම සඳහා යොදවා තිබේ. මුලින් ද සඳහන් කළ පරිදි සේවක අර්ථසාධක අරමුදල ගොඩනැඟී ඇත්තේ, මෙරට වැඩ කරන ජනතාවගේ දායකත්වයෙනි. මේ වන විට එහි දායකයන් සංඛ්‍යාව 16,00,000 ඉක්මවන බව වාර්තා වේ. ඒ අනුව එම දායකයන් හරහා අරමුදල වෙත ගලා එන මුදල් සම්භාරය සුළුපටු නොවන බව කිව යුතු නැත. එලෙස අරමුදල වෙත ගලා එන මුදල් සේවක අර්ථසාධක අරමුදල විසින් නැවත ආයෝජනය කිරීමෙන් ලැබෙන ප‍්‍රතිලාභවලින් දායකයන්ගේ පොලිය ඇතුළු ප‍්‍රතිලාභ ලබා දීම සිදු කරනු ලැබේ. ඒ අනුව 2015 මහ බැංකු වාර්තාවට අනුව මේ වන විට අරමුදලෙහි කි‍්‍රයාකාරී ගිණුම් සංඛ්‍යාව මිලියන 2.4කි. 2015 වර්ෂයේ දී දායක මුදල් ලැබීම රුපියල් කෝටි 10,250ක් ඉක්මවා තිබේ. එමෙන් ම සමස්ත වත්කම් රුපියල් කෝටි 1,66,490ක් බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල යනු දිනෙන් දින දායකත්වය සහ සාමාජික මුදල් ඉහළ යන අරමුදලක් වනුයේ, වර්තමානය වන විට ද, බොහෝ ආයතනවල සේවකයන් සඳහා අරමුදලෙහි දායකත්වය ලබා නොදී ඇති තත්ත්වයක් තිබිය දීත් ය. සේවක අර්ථසාධක අරමුදල විසින් තම මුදල් ආයෝජනය කරනු ලබන එක් ආකාරයක් වනුයේ, මහ බැංකු බැඳුම්කර මිල දී ගැනීම ය. මහ බැංකු බැඳුම්කර මිල දී ගැනීම සහ විකිණීම සඳහා අතරමැදි තැරැුවුකාර ආයතන කිහිපයක් ම පවතින අතර, එම ආයතන මහ බැංකුවේ ලියාපදිංචිය ලබා ගැනීම කළ යුතු වේ. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල ද මහ බැංකුවේ බැඳුම්කර මිල දී ගැනීම සඳහා ලියාපදිංචි තැරැුවුකාර ආයතනයක් ලෙස කි‍්‍රයාත්මක වේ. බැඳුම්කර මිල දී ගන්නා බොහෝ තැරැුවුකාර ආයතන තමන් මිල දී ගත් බැඳුම්කර තෙවන පාර්ශ්වයක් සඳහා විකිණීම සිදු කරනු ලබයි. ඒ අනුව ඔවුනට මහ බැංකුවෙන් ගෙවන පොලියට අඩු පොලී ප‍්‍රතිශතයක් හිමි වේ. සේවක අර්ථසාධක අරමුදල විසින් ද බැඳුම්කර මිල දී ගන්නා නමුදු, තමන් මිල දී ගත් බැඳුම්කර තෙවන පාර්ශ්වයක් වෙත අලෙවි නොකර තමා සන්තකයෙහි ම තබා ගනිමින්, එයට අදාළ පොලිය ප‍්‍රතිලාභයක් ලෙස ලබා ගැනීමට එම ආයතනය විසින් මේ තාක් කටයුතු කරනු ලැබී ය. ඒ අනුව එම අරමුදලට මහ බැංකුව විසින් ගෙවනු ලබන සම්පූර්ණ පොලිය හිමි විය. පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ද බැඳුම්කර ගනුදෙනුවේ දී එවැනි ම තැරැුවුකාර සමාගමක් ලෙස කි‍්‍රයාත්මක වන අතර, ආරම්භක අවස්ථාවේ දී එම සමාගමට බැඳුම්කර මිල දී ගැනීම සඳහා ආයෝජනය කිරීමට මේ සා දැවැන්ත මුදලක් නොමැතිව සිට ඇති බවත්, ඒ සඳහා ඔහු සේවක අර්ථසාධක අරමුදලට අයත් මුදල් තම දේශපාලන බලපුළුවන්කාරකම මත යොදවාගෙන ඇති බවටත් මේ වන විට ඔප්පු වී තිබේ. මේ හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට සිදු වී ඇති පාඩුව මිලියන 15,000ක් පමණ වන බවට පසුගිය 19 වැනිදා උද්ඝෝෂණය සංවිධානය කළ අන්තර් සමාගම් සේවක සංගමය පවසයි. එම ගනුදෙනුවේ දී පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් මිල දී ගත් බැඳුම්කර දෙවැනි වරට නැවත සේවක අර්ථසාධක අරමුදල වෙත ම විකුණා ඇති බවට තොරතුරු හෙළිදරවු වී තිබේ. මේ අනුව සේවක අර්ථසාධක අරමුදල විසින් ද්විතීයික වෙළෙඳපොළ බැඳුම්කර මිල දී ගැනීම හේතුවෙන් ඉහත සඳහන් මිලියන 15,000ක මුදල අරමුදලට අහිමි වී තිබේ. සේවක අර්ථසාධක අරමුදල යනු සෘජුව ම මහා භාණ්ඩාගාරයේ මුදල් මණ්ඩලයක භාරකාරත්වය යටතේ පවතින අරමුදලකි. 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ එම භාරකාරත්වය පවරා ඇති අතර, අරමුදලෙහි සාමාන්‍ය පරිපාලනය කම්කරු කොමසාරිස් වෙත පැවරී තිබේ. මේ අනුව මෙම කොල්ලකාරී කි‍්‍රයාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් ද සෘජුව ම වගකිව යුතු චූදිතයකු බවට පත් වේ. මේ හේතුවෙන් අන්තර් සමාගම් සේවක සංගමය විසින් වත්මන් මහ බැංකු අධිපතිවරයාගෙන් මේ අයථා කි‍්‍රයාවට අදාළ තොරතුරු විමසීමක් කළ අතර, අවස්ථා කිහිපයක දී ම මේ පිළිබඳව කරන ලද විමසීම්වලට වත්මන් මහ බැංකු අධිපතිවරයාගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බව ද වාර්තා වේ. ඉහත බැඳුම්කර ගනුදෙනුවේ දී පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මිල දී ගන්නා ලද රුපියල් කෝටි 27,000ක බැඳුම්කරවලින් සියයට 95ක් ම නැවත විකුණා ඇත්තේ, සේවක අර්ථසාධක අරමුදල වෙත ය. ඒ හේතුවෙන් පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මාස 14ක් වැනි කෙටි කාලයක් තුළ දී රුපියල් මිලියන 13,000ක් වැනි අධික ලාභයක් ලබන විට සේවක අරමුදල විසින් ඉහත සඳහන් පාඩුව අත් කරගෙන තිබේ. ඉතාමත් කෙටි කාලයක් තුළ දී පර්පැචුවල් සමාගමෙහි වත්කම් වැඩි වීම පැහැදිලිව දක්නට ලැබෙන අතර, බැඳුම්කර මිල දී ගන්නා අනෙකුත් සමාගම්වල වාර්ෂික වත්කම් වැඩි වීම සියයට 31ක් පමණ වන විට දී පර්පැචුවල් ටෙ‍්‍රෂරීස්හි වත්කම් වැඩි වීම සියයට 1,853කින් වැඩි වී තිබේ. මේ ආයතනය ලැබූ අධික ලාභය කොතෙක් ද යන්න ඒ අනුව නිගමනය කළ හැක. මෙම ගනුදෙනුව හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට ඇති වූ අති දැවැන්ත පාඩුව පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් හෝ නොවීම හේතුවෙන් අරමුදලෙහි දායක සේවකයෝ මේ වන විට අරගල බිමට අවතීර්ණව සිටිති. මෙම වංචාවට හවුල් වූ හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝසියස් පැහැදිලිව ම අගමැති රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන ආරක්‍ෂාව ලබන බවට ඔවුහු චෝදනා කරති. මෙම තත්ත්වයට එරෙහිව පසුගිය 19 වැනිදා විරෝධතා පා ගමනකින් ඔවුහු මහ බැංකුුව වෙත පැමිණි අතර, එහි දී මහ බැංකු අධිපතිවරයා විසින් සතියක් ඇතුළත දී අදාළ විමසීම්වලට පිළිතුරු ලබා දෙන බවට එකඟ වී තිබේ. සේවක අර්ථසාධක අරමුදලට සිදු වී ඇති පාඩුව මෙතැනින් නතර නොවී ඉදිරියට වර්ධනය වෙමින් යන තත්ත්වයක් ඇති බවට තොරතුරු වාර්තා වන අතර, ඒ හේතුවෙන් ම මෙම අරමුදල රැක ගැනීමට මෙරට වැඩ කරන ජනතාවගේ පූර්ණ මැදිහත් වීමක් සිදු කළ යුතු වීම අනිවාර්යයක් බවට පත්ව තිබේ. .