ලංකාවේ මිනිරන් කර්මාන්තය ආරම්භ වන්නේ 19 වැනි සියවස මුල් භාගයේ දී පමණ අරුක්ගම්මන ගම්මානයේ බෝගල කඳුවැටියෙන් මතු වූ ඉල්ලමකිනි. කි‍්‍රස්තු වර්ෂ 1800දී පමණ අරුක්ගම්මන ප‍්‍රදේශයට පැමිණි වෙළෙන්දන් පිරිසක් අතට ප‍්‍රදේශයේ වැසියන් විසින් කරන ලද කැණීමක දී මතු වූ මිනිරන් කුට්ටියක් හමු වීමත් සමඟ මෙම ඛනිජ විශේෂය මිනිරන් ලෙසට නිශ්චිතව හඳුනාගෙන තිබේ. ඒ සමඟ ම එම වෙළෙඳ පිරිස හා එවකට සිටි විදේශ්ිකයන් අතර තිබූ සම්බන්ධය හේතුවෙන් කර්මාන්තයක් වශයෙන් මිනිරන් කැණීම ආරම්භ වී තිබේ. පෙර දී මිනිරන් සෙවීම සඳහා කැණීම් කරන ලද වළවල් මහා බෝගල සහ පුංචි බෝගල යනුවෙන් හඳුන්වා දී ඇති අතර, ප‍්‍රදේශය පුරා තැනින් තැන කණින ලද මිනිරන් පතල් රාශියක් එවකට දක්නට ලැබුණු බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. ක‍්‍රමයෙන් වර්ධනය වුණු මිනිරන් කර්මාන්තය ප‍්‍රධාන පතල ලෙස බෝගල පතල 1847දී ලියාපදිංචි කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ. මිනිරන් කැණීමේ දී ආරම්භයේ අනුගමනය කර ඇති ක‍්‍රමය වනුයේ, හැකි පමණ පහසුවෙන් ඉල්ලම කඩා ගැනීම වන අතර, තට්ටු සවි කිරීමක් හෝ නැවත පිරවීමක් එකල සිදු නොවූ බවට ඉතිහාසයේ සඳහන් වේ. එවකට මිනිරන් පතල්හි කම්කරුවකු වශයෙන් සේවය කර පසුව එම පතල් මිල දී ගැනීමෙන් ධනවතකු වූ කනෝනිස් බාස් හෙවත් ප‍්‍රනාන්දු නම් අය විසින් බි‍්‍රතාන්‍ය ජාතික කැණීම් විශේෂඥයකු තම පතල්හි කැණීම් කටයුතු සඳහා සහභාගී කරවාගෙන ඇති අතර, කි‍්‍රස්ටෝපර් රෙනෝල්ඞ් නම් වන ඔහු ගැඹුරට ඉල්ලම් හෑරීමේ දී සවි කිරීම්වලින් තොරව කැණීම් කටයුතු කළ නොහැකි බව වටහාගෙන තිබේ. ඒ අනුව කැණීම් කටයුතු පිළිබඳ තම විශේෂඥ දැනුම බෝගල පතලට අනුගත කර පතල සඳහා තට්ටු කැපීමේ සහ පිරවීමේ ක‍්‍රමවේදය හඳුන්වා දී තිබේ. එම හඳුන්වා දීම නොවන්නට මෙරට මිනිරන් පතල් කර්මාන්තය මීට වසර ගණනාවකට පෙර අකී‍්‍රය වන්නට ඉඩ තිබුණු බව ඉතිහාසය සඳහන් කරයි. ලෝකය තුළ පතල් කර්මාන්තය දියුණු වෙමින්, නව තාක්‍ෂණය සහ අංගයන් එක් වෙද් දී, බෝගල පතල ද ක‍්‍රමයෙන් නවීන තාක්‍ෂණයට අනුගත වී තිබේ. ඒ අනුව කටුව සහ මිටිය භාවිතයෙන් ඉවත් වී ඇති අතර, ඒ වෙනුවට දියමන්ති විදුම් යන්ත‍්‍ර ද, මිනිරන් ගොඩ ගැනීම වෙනුවෙන් අතින් කි‍්‍රයා කළ දබරය වෙනුවට විදුලි සෝපානය ද, ඉටිපන්දම් හා භූමිතෙල් ලාම්පු සහ ගෑස් ලාම්පු ද පසු කර මේ වන විට විදුලි ලාම්පු ද පතල් කර්මාන්තය වෙනුවෙන් භාවිතයට ගැනෙමින් තිබේ. ආරම්භයේ දී මෙරට මිනිරන් කැණීම් කර්මාන්තය මෙරට ධනපතියන් අතර කේන්ද්‍රගත වී තිබූ අතර, 1972දී පෞද්ගලික ව්‍යාපාර ජනසතු කිරීම යටතේ බෝගල පතල රජයට පවරා ගනු ලැබී ය. ඉන් අනතුරුව බෝගල පතල රාජ්‍ය මිනිරන් සංස්ථාව යටතේ පාලනය වී තිබේ. පසුව එම සංස්ථාව රාජ්‍ය පතල් හා ඛනිජ සම්පත් සංවර්ධන සංස්ථාව බවට පත්ව තිබේ. 1977න් පසුව ඇරඹි විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය යටතේ කි‍්‍රයාත්මක පෞද්ගලිකකරණ කි‍්‍රයාවලියේ ගොදුරක් බවට පත් වුණ බෝගල පතල එවකට පාලනාධිකාරිය විසින් පාඩු ලබන තත්ත්වයට පත් කරනු ලැබ 2000 වර්ෂයේ දී පැවැති රජය මඟින් බෝගල පතල ජර්මනියේ ‘ග‍්‍රැෆයිට්...’ සමාගමට විකුණා දමනු ලැබී ය. එදා සිට අද දක්වා ම බෝගල පතලේ මෙහෙයුම් කටයුතු සිදු කරනුයේ එම සමාගම විසින් වන අතර, වඩාත් අවදානම්කාරී රැකියාවක් වන මෙම පතල් රැකියාවෙහි නිරත සේවකයන් විටින් විට තම අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරනු ඉතිහාසය පුරා දැක ගත හැකි විය. පෞද්ගලිකකරණය කිරීමෙන් අනතුරුව පතලෙහි පරිපාලනය මෙහෙයවන අදාළ සමාගම සේවක අයිතිවාසිකම් නොතකා කටයුතු කරනු ලබන බවට සේවකයන් චෝදනා කරන අතර, ලාභය මුල් කර ගත් ආයතනයක් සේවක සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරනු ඇත යන්න අපේක්ෂා කළ නොහැකි වුවත්, තම වෘත්තීය අයිිතිවාසිකම් වෙනුවෙන් ඔවුහු නොයෙක් විට අරගල කළහ. පෞද්ගලික අංශයට පැවරීමෙන් අනතුරුව එතෙක් සේවකයන් සම්බන්ධයෙන් අනුගමනය කළ ප‍්‍රතිපත්තීන්වල යම් යම් වෙනස්කම් සිදුව ඇති අතර, එහි දී වැටුප් පිළිබඳ ගැටලූ මෙන් ම තම ජීවිත සුරක්‍ෂිතභාවය පිළිබඳ ගැටලූ ද සාකච්ඡුාවට ලක් කර තිබේ. සේවකයන්ගේ මෙම ගැටලූ සම්බන්ධයෙන් කළ සාකච්ඡුාවල දී අන්තර් සමාගම් සේවක සංගමයෙහි මැදිහත් වීම ද සිදු වූ බව බෝගල් පතල් සේවකයෝ ප‍්‍රකාශ කර සිටිති. වර්තමානය වන විට පතලෙහි පාලනාධිකාරිය විසින් සේවකයන් සම්බන්ධයෙන් ශ‍්‍රම සූරාකෑමේ වැඩපිළිවෙළක් අනුගමනය කරන බවට සේවකයන් චෝදනා කරන අතර, ආයතනය පෞද්ගලිකකරණය කිරීමට පෙර කැණීම් කටයුතු කිරීමේ දී සේවකයන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස එක ස්ථානයක සේවයට යොදවා ඇති අතර, මේ වන විට එම සංඛ්‍යාව දෙදෙනකු දක්වා අඩු කර ඇති බවට ඔවුහු චෝදනා කරති. ඒ හේතුවෙන් අනතුරක් පිළිබඳව විමසිලිමත් වීමේ අවස්ථා අව ම වී ඇති බව පවසන පතල් සේවකයන් සේවක ජීවිත අනතුරට ලක් වීමේ අනතුර වැඩි වී ඇති බව ප‍්‍රකාශ කර සිටිති. මෙයට දින කීපයකට පෙර දී ද බෝගල පතල තුළ සිදු වූ අනතුරක් හේතුවෙන් එහි වැඩ පරීක්ෂකවරයකු වූ ප‍්‍රදීප් කුමාර යන අය ජීවිතක්ෂයට පත් වූ අතර, මෙම මරණයට අදාළ වගකීම ආයතන පරිපාලනය විසින් භාර ගත යුතු බවට සේවකයෝ චෝදනා කරති. පතල් කර්මාන්තය යනු ස්වභාවයෙන් ම අනතුරුදායක රැුකියාවක් වන අතර, සේවක ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ආයතනය විසින් අනුගමනය කළ යුතු ආරක්‍ෂක ක‍්‍රමවේද නිවැරැුදිව සපුරා තිබේ ද යන්න විමසා බැලිය යුතු ය. සෑම ආයතනයක ම ඵලදායීතාවය, සේවක සුභසාධනය හා සුරක්ෂිතතාව මත රැුඳී පවතින බැවින්, ඕනෑ ම ආයතනයක් තම සේවකයන් සම්බන්ධයෙන් වගකීම දැරීම අනිවාර්යයක් වේ. ඒ අනුව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වැනි ආයතනයක නිරන්තර නියාමනයක් මෙවන් අවදානම් සහිත කැණීම් කටයුතුවල නිරත වන සේවකයන් වෙනුවෙන් පවත්වාගෙන යාමට අදාළ ආයතන බලධාරීන් උත්සුක වන්නේ නම්, මෙවැනි අවදානම් සහගත වෘත්තීන්හි නිරත වන දහස් ගණනක් වූ සේවකයන්ගේ ජීවිත සුරක්ෂිතතාව වෙනුවෙන් ගනු ලබන යහපත් පියවරක් වනවාට සැක නැත..