දශක ගණනාවක කාලයක් පුරා තී‍්‍ර රෝද රථ මෙරට ජනතාවගේ ජන ජීවිතය හා බද්ධ වී හමාර ය. එය නියාමනය කිරීම වෙනුවෙන් රාජ්‍ය මැදිහත්  වීමක් මෙතෙක් සිදු නොවුව ද, දෛනික ජීවිතයේ දී තී‍්‍රරෝද රථය පොදු ප‍්‍රවාහණ මාධ්‍යයක් තරමට ම වර්තමානය වන විට අපගේ ජීවිත හා බද්ධ වී පවතී. සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට ලියාපදිංචි තී‍්‍ර රෝද රථ සංඛ්‍යාව ලක්‍ෂ 14 ඉක්මවන බව ගණන් බලා තිබේ. එයින් තී‍්‍ර රෝද රථ ලක්‍ෂ 10ක පමණ ප‍්‍රමාණයක් කර්මාන්තයක් වශයෙන් නියැළෙන පිරිස අත පවතින අතර, ඒ අනුව ප‍්‍රවාහණ කේෂ්ත‍්‍රයේ පුළුල් වපසරියක් තී‍්‍ර රෝද රථ කර්මාන්තය විසින් ආවරණය කරනු ලබන්නේ ය. එසේ වුව ද, මෙම සේවාව නියාමනය කිරීම සඳහා කිසිදු ආයතනයක් මේ වන තෙක් පිහිටුවා නොමැති අතර, එය සිදු විය යුතු වනුයේ, අදාළ පළාත් සභාව විසින් බවට මෙම කර්මාන්තයේ නියුතු වූවන්ගේ අදහසයි. තී‍්‍ර රෝද රථ සේවාවන් පවත්වාගෙන යාම සඳහා ස්ථාන ලබා දීම අදාළ පළාත් පාලන ආයතන හරහා සිදු විය යුතු බව තී‍්‍ර රෝද රථ වෘත්තිකයෝ ප‍්‍රකාශ කර සිටිති. නමුත්, ඒ සඳහා ආණ්ඩුවට මේ තාක් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව වෘත්තීය තී‍්‍ර රෝද රථ රියැදුරු සංගමය වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියි. තම වෘත්තීය ගරුත්වය අපේක්ෂාවෙන් මෙන් ම ජනතාවට ගෞරවනීය සේවාවක් ලබා දීමේ අරමුණින් වෘත්තීය තී‍්‍ර රෝද රථ සේවා සංගමයෙහි නියෝජිත සමුළුව පසුගිය 06 වැනිදා කොළඹ මහජන පුස්තකාලයේ දී පැවැත්විණි. තී‍්‍ර රෝද රථ ධාවනයෙහි නියුතු වෘත්තිකයන් විසින් තම තී‍්‍ර රෝද රථ නැවතුම්පොළවලට අදාළව යම් යම් සංගම් පිහිටුවාගෙන තිබුණ ද, ඒ සියල්ල එකට ගොනු කර ගත් සංවිධානයක් මේ වන තෙක් පිහිටුවාගෙන නොමැති අතර, බොහෝ තී‍්‍ර රෝද රථ සංගම් අදාළ ප‍්‍රදේශයේ පොලිස් ස්ථානය සම්බන්ධව පිහිටුවනු ලැබූ සංගම් වේ. ඒවායින් ද බොහෝ තී‍්‍ර රෝද රථ සංගම් කි‍්‍රයාකාරී මට්ටමේ නොපවතින ඒවා ද වේ. එවන් තත්ත්වයක් යටතේ තම වෘත්තිය කරගෙන යාමේ දී මුහුණ දීමට සිදු වන නොයෙකුත් දුෂ්කරතාවන්වල දීත්, තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ දීත් තමන් වෙනුවෙන් නිශ්චිත සංවිධානයක් නොමැති වීම ඔවුනට මේ තාක් මුහුණ දීමට සිදු වූ ගැටලූවක්ව පැවැතිණි. තී‍්‍ර රෝද රථ සේවාව හා සම්බන්ධ වක‍්‍ර සේවාවන් වන සේවා සපයන ආයතන හා අමතර කොටස් සපයන ආයතන, තී‍්‍ර රෝද රථ සම්බන්ධීකරණ ආයතන හා එම වෘත්තිය වෙනුවෙන් ණය දෙන සමිති, සමාගම් ආදී ජාලයක් රට පුරා කි‍්‍රයාත්මක වන අතර, ඒ අනුව ගණන් බැලීමේ දී ලක්ෂ තිහක, හතළිහක වැනි ජනතාවක් මෙම කර්මාන්තය හා සෘජුව මෙන් ම වක‍්‍රව සම්බන්ධ වී සිටිති. ඒ අනුව සැලකූ විට ජනතාව හා සම්බන්ධ සේවාවන් නියාමනය කිරීම වෙනුවෙන් රජයේ මැදිහත් වීමක් නොවීම එක් අතෙකින් එම සේවාව නොසලකා හැරීමක් වන අතර, මඟී ප‍්‍රවාහණ සේවාව වෙනුවෙන් තී‍්‍ර රෝද රථ මඟින් වන කාර්යභාරය හෑල්ලූවට ලක් කිරීමක් ද වේ. වෘත්තීය තී‍්‍ර රෝද රථ සංගමය මුල් පියවර තබනුයේ, එම වෘත්තීය ගරුත්වය වෙනුවෙනි. සමාජය තුළ තී‍්‍ර රෝද රථ වෘත්තිකයා පිළිබඳව ගොඩනැඟී ඇති අවර ගණයේ අදහස්වලට වෘත්තීය වෙනුවෙන් ගෞරවයක් හා සේවය පිළිබඳ විශ්වසනීයත්වයක් ඇති කිරීම මෙම නියෝජිත සමුළුවෙහි අරමුණ වී තිබිණි. දිවයිනේ තී‍්‍ර රෝද රථ වෘත්තිකයන් විශාල පිරිසක් සහභාගී වූ මෙම අවස්ථාවෙහි එහි ප‍්‍රධාන දේශනය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, කේ. ඞී. ලාල් කාන්ත විසින් පවත්වනු ලැබූ අතර, මෙම නියෝජිත සමුළුවට සහාය දක්වමින්, සමස්ත ලංකා ප‍්‍රවාහණ සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ සහ සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් එස්. පී. විතානගේ ද සහභාගී වී සිටියහ..