බූවල්ලා ගැන බොහෝ දෙනෙකු කියවා ඇති බවට සැක නැත. මුහුදු ජීවියකු වන මේ සත්ත්වයාට අඬු රාශියක් තිබේ. ඌට හසු වන මිනිසකු වුව ද බිලි ගනී. උගෙන් බේරීමක් නම් ඇත්තේ ම නැත. උගේ එක අඬුවක් කපා දැමුවහොත්, තවත් අඬු කීපයකින් ගොදුර ඩැහැ ගන්නා බව කියැවේ. අප මේ කතා කරන්නට යන්නේ ද බූවල්ලෙකු නොවන බූවල්ලකු ගැනයි. මුහුදේ ඉන්න බූවල්ලා ගැන අසා තිබෙන කරුණු අනුව උගේ ගොදුරු බවට පත් වන්නේ එක් වරකට එක් සත්ත්වයෙක් ය. නමුත්, අප මේ කතා කරන බූවල්ලා රටක් රාජ්‍යයක්ම බිලිගෙන අවසන් ය. උගේ එක් එක් අඬුවලින් බිලි ගන්නා ලද එක් එක් විෂයයන් ගැන කතා කිරීමට ප‍්‍රස්තුත මතු වේ. මේ බූවල්ලා නම් බැඳුම්කර බූවල්ලා ය. බැඳුම්කර යනු රජයට දිගුකාලීනව දේශීය වශයෙන් ණය ගන්නා උපකරණයක් බව කවුරුත් දනිති. එය බූවල්ලකු වූයේ මෛතී‍්‍ර-රනිල් පාලනයේ හනිමූන් එක සමඟමය. එතෙක් බැඳුම්කර පිළිබඳ බරපතල ප‍්‍රශ්න හෙළිව තිබුණේ නැත. නමුත්, මෛතී‍්‍ර-රනිල් පාලනයේ හනිමූන් ඉවර වීමටත් පෙර 2015 පෙබරවාරි මස 27 වැනි දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසියත් සමඟ බූවල්ලකු බවට පත් විය. 2016 මාර්තු මස 29 වැනි දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසියේ දී මේ බූවල්ලා තවත් විශාල වශයෙන් බලගතු වී ලංකාව ම ගිල ගන්නා තත්ත්වයට පත් වූයේය. මෙම සටහන තැබෙන්නේ බැඳුම්කර බූවල්ලාට සේවක අර්ථසාධක අරමුදල බිලි දී තිබෙන ආකාරය හෙළිදරවු කිරීමටය. සේවක අර්ථසාධක අරමුදල නැත්නම්, ඊ.පී.එෆ්. එක යනු පාලකයන් කාගේ හෝ අම්මාගේ, අප්පාගේ බූදලයකින් පැවත එන්නක් නොවේ. එදා මෙදාතුර මේ රටේ වැඩ කරන කෝටි ගණනක ජනතාවගේ දාඩිය මහන්සියෙන් ගොඩනැඟී තිබෙන මුදල් එකතුවක් ය. රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ විශ‍්‍රාම වැටුප් නොලබන සේවකයන් වියපත් වයසේ දී ගෙදර යන දවසට ඉතිරි වන දේය. වියපත් සමය යාන්තම් ගෙවා දැමීමට තිබෙන සබ්බ සකලමනාවම වන්නේ ඊ.පී.එෆ්. එකය. එය මහ දවාලේ මංකොල්ලකෑමට රාජ්‍ය බලය යොදා ගන්නා ලද මංකොල්ලකාරයන් අතුරින් එක් චෞරයකු හෙළි වී අවසන්ය. අගමැති රනිල් වික‍්‍ර්මසිංහගේ අංක එකේ ගජමිතුරා වන අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ මූල්‍ය තැරැුවුකාර සමාගම වන ‘පර්පැචුවල් ටෙ‍්‍රෂරීස්’ සමාගම හෙවත් බෑනාගේ සමාගම රුපියල් කෝටි 5,500ක් පමණ මහජන මුදල් මංකොල්ලයක් බැඳුම්කර හරහා කර තිබේ. එය ඉදිරියේ දී තව තවත් වර්ධනය වෙමින් යන මූල්‍ය මංකොල්ලයකි. එම බැඳුම්කර ණය ගෙවා නිදහස් කෙරෙන වසර 30ක් දක්වා ම අලාභය වර්ධනය වෙමින් යන බව විශේෂඥයන්ගේ මතය වී තිබේ. පසුගිය දිනවල අන්තර් සමාගම් සේවක සංගමය මඟින් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරමින්, ජනතාවට හෙළි කර තිබුණේ බැඳුම්කර බූවල්ලාට හසු කර ගැනීමෙන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් කෝටි 1,500ක් ඉක්ම වූ අලාභයක් මේ වන විට සිදුව තිබෙන බවයි. මෙම කොල්ලකරුවන් ආරක්‍ෂා කිරීමේ ස්ථාවරයක වර්තමාන මහ බැංකු අධිපති, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නිරතව සිටින බවට එම වෘත්තීය සමිති සංගමය චෝදනා නඟා තිබිණි. බැඳුම්කර කොල්ලයට ඊ.පී.එෆ්. මුදල් යොදා ගැනීම පිළිබඳව තොරතුරු ලබා දෙන්නැයි වර්තමාන මහ බැංකු අධිපතිවරයාගෙන් එම වෘත්තීය සංගමය අවස්ථා තුනක දී ලිඛිතව ඉල්ලීම් කර තිබෙන බවත්, අවස්ථා තුනේ දී ම ඉල්ලීම ඉවත හෙළා තිබෙන බවත් චෝදනා කර තිබිණි. මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ වැදගත් තොරතුරු කිහිපයක් මෙසේය: 1. 2015 ජනවාරි මස 01 වැනි දින සිට 2016 ජුනි මස 30 වැනි දින දක්වා සේවක අර්ථසාධක අරමුදල විසින් ප‍්‍රාථමික වෙළෙඳපොළ හරහා භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන සඳහා යොදා ඇති මුදල් ප‍්‍රමාණය කොපමණ ද? 2. එම කාලසීමාව ද්විතීයික වෙළෙඳපොළෙන් ලබාගෙන තිබෙන භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජන ප‍්‍රමාණය කොපමණ ද? 3. එක් එක් බැඳුම්කර වෙනුවෙන් ප‍්‍රාථමික වෙළෙඳපොළෙන් ලැබෙන පොලී ප‍්‍රමාණය සහ ද්විතීයික වෙළෙඳපොළෙන් ලැබෙන පොලී ප‍්‍රමාණයේ වෙනස වෙන වෙනම දක්වන්න. 4. එක් එක් බැඳුම්කරය ප‍්‍රාථමික වෙළෙඳපොළෙන් ලබා නොගෙන ද්විතීයික වෙළෙඳපොළෙන් ලබා ගැනීම නිසා සිදුව තිබෙන පාඩුව කොපමණ ද? ආදී වශයෙන් ප‍්‍රශ්න ගණනාවක් යොමු කර තිබේ. ඊ.පී.එෆ්.හි සුරක්‍ෂිතභාවය පිළිබඳව මෙම පිළිතුරු ඉතා වැදගත් වන බව පැහැදිලිව පෙනේ. අන්තර් සමාගම් සේවක සංගමය මෙම ප‍්‍රශ්න මතු කර තිබෙන්නේ ඊට අදාළ මූලික තොරතුරු මත සිටිමින්ය. 2015 වර්ෂය අවසන් වන විට ඊ.පී.එෆ්. අරමුදලේ මුළු මුදල් ප‍්‍රමාණය රුපියල් කෝටි එක්ලක්‍ෂ හැටහය දහස් හාරසිය අනූව (රු. කෝටි 1,66,490) ක්ව තිබී ඇත. මෙම මුදල් එක තැන ගොඩ ගසා තබා ගන්නේ නැත. විවිධ තැන්වල ආයෝජනය කළ යුතු වේ. සරල ම දේ වන බැංකුවක ස්ථිර තැන්පතු වශයෙන් යෙදැවීම ද ආයෝජනයක්ය. එවිට ස්ථිර පොලියක් ලැබේ. නමුත්, මෙම අරමුදල පිහිටු වීමේ මූලික ඉලක්කය වී තිබෙන්නේ ම රජයට අවශ්‍ය ණය සැපයීමයි. මේ වෙනුවෙන් භාණ්ඩාගර බිල්පත්වල සහ භාණ්ඩාගාර බැඳුම්කරවල යෙදැවීම ප‍්‍රධාන වශයෙන් සිදු කෙරේ. පසුගිය 2015 වර්ෂය අවසන් වන විට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල යොදවා තිබූ මුළු මුදල් ප‍්‍රමාණය රුපියල් කෝටි එක්ලක්‍ෂ හතළිස් අට දහස් හත්සීය (රු. කෝටි 1,48,700*ක්  වී තිබිණි. අරමුදලේ මුළු ආයෝජනවල ප‍්‍රතිශතයක් වශයෙන් ගතහොත්, එය සියයට 92.7ක් වී ඇත. මෙම අරමුදල් ප‍්‍රමාණය ගොඩනැඟී ඇත්තේ, එක්කෝටි හැට ලක්‍ෂයක් වූ වැඩ කරන මිනිසුන්ගේ දාඩිය මහන්සියෙන් ය. 2015 වර්ෂය අවසන් වන විට සමස්ත මුදල් ගෙවමින් සිටින සේවක සංඛ්‍යාව ලක්‍ෂ 24කි. ආයතන 72,917ක වැඩ කරන මිනිස්සු මේ දායකත්වය ලබා දෙති. 2015 වර්ෂයේ දී දායක මුදල් ලැබීම රුපියල් කෝටි 10,250ක් වී තිබී ඇත. එම වසරේ දී ප‍්‍රතිලාභ ගෙවීම් සඳහා වැය වී ඇත්තේ, රුපියල් කෝටි 7,780කි. එසේ ම අරමුදල පවත්වාගෙන යාම වෙනුවෙන් වසර පුරා වියදම් වී ඇත්තේ, රුපියල් කෝටි 119ක් වැනි ඉතා සුළු මුදලකි. මෙම ගණන් හිලව් අනුව අරමුදලෙන් වසරකට සාමාජික ප‍්‍රතිලාභ ගෙවීම සහ පවත්වාගෙන යාම යන ප‍්‍රධාන වියදම් සඳහා වැය වී ඇත්තේ රුපියල් කෝටි 7,899කි. සාමාජික මුදල් ලැබීම රුපියල් කෝටි 10,250කි. වසරේ ආයෝජන ප‍්‍රතිලාභ ලැබීම රුපියල් කෝටි 17,153ක්ව තිබී ඇත. මෙම දත්තවලින් පැහැදිලි වන්නේ කොතරම් වේගයකින් අරමුදල වර්ධනය වෙමින් පවතින්නේ ද යන්නයි. මේ සියල්ල අයිති වන්නේ එක්කෝටි හැටලක්‍ෂයක් සාමාජිකයන්ට මිස රාජ්‍ය බලය තිබෙන දේශපාලන තක්කඩින්ගේ මංකොල්ලකාරයන් කීප දෙනෙකුට නොවේ. එසේ වුව ද, බැඳුම්කර බූවල්ලා ඊ.පී.එෆ්. අරමුදල මංකොල්ලකෑමට මුලපුරා ඇත. බැඳුම්කර බූවල්ලකු වී ඇත්තේ බෑනාගේ සමාගම විසින් කරනු ලැබූ මහ දවල් මංකොල්ලය නිසාය. එය සිදු කර තිබෙන ආකාරය කෙබඳු දැයි මෙතැන් සිට විමසීමට ලක් කෙරේ. බැඳුම්කර කොල්ලයට අදාළව ඊ.පී.එෆ්. මුදල් යොදාගෙන තිබෙන අයුරු විගණකාධිපති වාර්තාවෙන් තහවුරු කර තිබේ. 2015 පෙබරවාරි මස 27 සහ 2016 මාර්තු මස 29 දිනයන්ට අදාළව තොරතුරු රැුසක් ඒ අතර වේ. මේ සියල්ල හොඳින් තේරුම් ගැනීම සඳහා අමතර කරුණක් ද අවධාරණය කර ගත යුතුව තිබේ. බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මඟින් මහජනතාවගෙන් රජයට ණය ලබා ගැනීමේ ප‍්‍රධාන අතරමැදියා ලෙස මහ බැංකුව කි‍්‍රයා කරයි. මහ බැංකුවේ අතරමැදියන් වශයෙන් ප‍්‍රාථමික තැරැුවුකරුවන් නමින් ලියාපදිංචි මූල්‍ය තැරැුවුකාර ආයතන 16ක් තිබේ. ඔවුන් කරන්නේ බැඳුම්කර හෝ බිල්පත් මිල දීගෙන මහජනතාවට හෝ වෙනත් මූල්‍ය ආයතනවලට විකිණීම ය. මෙසේ විකිණීම ද්වීතියික වෙළෙඳපොළ යනුවෙන් හැඳින්වේ. මහ බැංකුවේ ලියාපදිංචි තැරැුවුකරුවන් 16 දෙනා කරන්නේ බ්‍රෝකර් වැඩකි. ලබා ගන්නා භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර ඔවුන් සන්තකයේ තබාගන්නේ නැත. මේ තැරැුවුකරුවන්ට මහ බැංකුවෙන් ලැබෙන පොලියට වඩා අඩු පොලියකට තුන්වැනි පාර්ශ්වයන් (මහජනතාව හෝ ආයතනවලට විකුණයි. එසේ ලබා ගන්නා තුන්වැනි පාර්ශ්වයට ලැබෙන්නේ මහ බැංකුවෙන් ප‍්‍රාථමික තැරැුවුකරුවන්ට ලැබෙන පොලියට වඩා අඩු පොලී අනුපාතයකි. අර්ථසාධක අරමුදල ද එකී තැරැුවුකරුවන් අතර සිටිනා එක් ආයතනයකි. එය ලබා ගන්නා භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර තුන්වැනි පාර්ශ්වයක් වෙත නැවත විකිණීමක් නොකෙරේ. කල් පිරෙන තුරු තමන් සන්තකයේ තබා ගනී. වෙන්දේසියේ දී නියමිත වූ පොලිය තමන්ගේ ආදායම සේ ලබාගෙන සෑහීමට පත් වේ. බෑනාගේ සමාගම විසින් බැඳුම්කර බූවල්ලා සඳහා ඊ.පී.එෆ්. මුදල් යොදාගෙන තිබෙන්නේ වෙනත් මංකොල්ලයක ස්වරූපයෙනි. බෑනාගේ සමාගමට ඊ.පී.එෆ්. මහා මුදල් සම්භාරයත් සමඟ හැරෙන්නටවත් බැරි ය. එම නිසා බෑනාගේ සමාගමට පිටුපසින් සිටි අර්ජුන් මහේන්ද්‍රන් සහ ආණ්ඩුවේ රනිල් වික‍්‍රමසිංහ යන බලවේග කර තිබෙන්නේ තම දේශපාලන බලය යොදවා ඊ.පී.එෆ්. මුදල් බෑනාගේ සමාගමේ ජාවාරම් සඳහා යොදවා ගැනීමයි. ඊ.පී.එෆ්. මුදල් පාලනය කෙරෙන්නේ මහ බැංකුවෙන් ය. තැරැුවුකාර මූල්‍ය සමාගම් ඇතුළු සියලූ ම රාජ්‍ය සහ පෞද්ගලික මූල්‍ය සමාගම් පාලනය කරන්නේ ද මහ බැංකුව ය. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසිය මෙහෙයවන්නේ ද මහ බැංකුව ය. මාමා සහ බෑනා යන දෙදෙනා ම මේ ජාලය තුළ සිටින අතර, එයට පිටින් දේශපාලන බලය දරන රනිල් වික‍්‍රමසිංහ මාමාගේ (අර්ජුන් මහේන්ද්‍රන්ගේ) ගජමිතුරා වශයෙන් කි‍්‍රයා කරයි. එම සමස්තය මතකයේ තබාගෙන විගණකාධිපතිවරයා විසින් 2016 ජුනි මස 26 වැනි දින නිකුත් කර තිබෙන වාර්තාවේ 08 වැනි වෙළුමේ 5:2:3 චේදයට අවධානය යොමු කිරීම අවශ්‍යය. ”මෙහි දී අනාවරණය වූ ඉතා ම වැදගත් කරුණක් වන්නේ ප‍්‍රාථමික වෙළෙඳපොළෙන් බැඳුම්කර මිල දී ගත හැකි ආයතනයක් වන සේවක අර්ථසාධක අරමුදල විසින් 2016 මාර්තු මස 29 වැනි දින දී නිකුත් කළ බැඳුම්කරයන්ගෙන් ඵලදා අනුපාතය සියයට 12.20 සිට 12.5ක් දක්වා පරාසයක් තුළ රුපියල් බිලියන 9.736ක් වටිනා බැඳුම්කර ද්විතීයික වෙළෙඳපොළෙන් ලබාගෙන තිබුණු බවයි.” විගණකාධිපති වාර්තාවෙන් හෙළි කර තිබෙන ප‍්‍රධාන කරුණු දෙකක් තිබේ. මුලින්ම එදින ඊ.පී.එෆ්. මුදල් රුපියල් නවසිය හැත්තෑතුන් කෝටි හැට ලක්‍ෂයක් බැඳුම්කර ගැනීම සඳහා වෙළෙඳපොළට යොදවා තිබූ බවයි. ඊ.පී.එෆ්. මුදල් සෘජුව ම බැඳුම්කර වෙන්දේසියට යෙදවීමේ හැකියාව තිබීම සහ එසේ යෙදවූයේ නම්, ඉහළ පොලියක් ලබා ගත හැකි වීම පසෙක දමා ඇත. ද්විතීයික වෙළෙඳපොළ වෙනුවෙන් මෙම මුදල යෙදවීමට ලැබෙන පොලිය වි ඇත්තේ, සියයට 12.20 සිට 12.5 දක්වා පරාසයක් ය. මෙයින් පැහැදිලි වන්නේ ප‍්‍රාථමික වෙළෙඳපොළට ඊ.පී.එෆ්. මුදල් සෘජුව යෙදවූයේ නම්, සියයට 12.5ට වැඩි පොලී මුදලක් ලබා ගත හැකිව තිබූ බවයි. විගණකාධිපති වරයාගේ වාර්තාවේ එම ෙඡ්දයේ වැඩිදුරටත් මෙසේ දැක් වේ: ”සේවක අර්ථසාධක අරමුදල මෙම බැඳුම්කර සඳහා 2016 මාර්තු මස 29 වැනි දිනට ප‍්‍රාථමික වෙළෙඳපොළට මිල ගණන් ඉදිරිපත් කර තිබුණේ පහත පරිදි ඉතා අඩු බැඳුම්කර ප‍්‍රමාණයකට බව පැහැදිලි වේ. එම තත්ත්වය 29 බී (XXIX ඊ)ඇමුණුමේ තොරතුරුවලින් පැහැදිලි වේ.” විගණකාධිපතිවරයා දක්වා තිබෙන එම ඇමුණුමට අනුව එදින ඊ.පී.එෆ්. මුදල් රුපියල් කෝටි 193 (රු. 193,34,40,500.00*ක් පමණක් ප‍්‍රාථමික වෙළෙඳපොළෙන් බැඳුම්කර සඳහා යොදවා ඇති බව හෙළි වේ. ඊ.පී.එෆ්. මුදල් ප‍්‍රමාණයක් ප‍්‍රාථමික වෙළෙඳපොළට යොදවා ඊ ළඟට කර තිබෙන්නේ ද්විතීයික වෙළෙඳපොළෙන් අඩු පොලියට බැඳුම්කර මිල දී ගැනීමයි. ”සියලූ ඉල්ලීම් සාර්ථක වී තිබූ අතර, ඔවුන්ට අවශ්‍ය ඉතිරි බැඳුම්කර ප‍්‍රමාණය සෘජුව ම ප‍්‍රාථමික වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට අයැදුම් කර හෝ නොමැතිව ද්විතීයික වෙළෙඳපොළෙන් මිල දීගෙන තිබීම ප‍්‍රශ්නකාරී වේ. ”තව ද, මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ භාරකාරත්වයේ පවතින ආයතනයක් වන සේවක අර්ථසාධක අරමුදල මෙලෙස කටයුතු කිරීම පිළිබඳව මහ බැංකුව විසින් අවධානය යොමු නොකිරීම ද ප‍්‍රශ්නකාරී තත්ත්වයකි.” යනුවෙන් විගණකාධිපති වාර්තාවේ සඳහන් කර තිබේ. මූල්‍ය අපරාධකරුවන් ඇල්ලීමේ පොලිස් බලතල තිබූයේ නම්, විගණකාධිපති දෙපාර්තමේන්තුව එසේ කරන බව පැහැදිලි ය. නමුත්, තිබෙන බලතල උපරිම හෙළිදවු කිරීම් කර තිබෙන මහ බැංකුවේ කි‍්‍රයාකාරීත්ව ප‍්‍රශ්නකාරී බව සඳහන් කරන්නේ එය මූල්‍ය අපරාධයකට අනුබල දී තිබෙන බව වචනවලින් නොකියමින් ය. ඊ.පී.එෆ්. සහ මහ බැංකුව දෙක ම රනිල්ගේ සහ අර්ජුන් මහේන්ද්‍රන්ගේ සහ බෑනාගේ සාක්කුවේ තිබූ බවට මෙයින් මනාව පැහැදිලි වේ. අන්තර් සමාගම් සේවක සංගමය වෘත්තීය සමිතියක් වශයෙන් වර්තමාන මහ බැංකුවේ අධිපතිගෙන් ඊ.පී.එෆ්. මුදල් බැඳුම්කරවල යෙදවීම පිළිබඳව තොරතුරු ඉල්ලා සිටින්නේ මේ නිසා ය. එයින් නතර නොවී බෑනාගේ සමාගමේ ප‍්‍රවේණිදාසයකු බවට ඊ.පී.එෆ්. පත් කිරීමෙන් දැනට රුපියල් කෝටි 1,900ක් ඉක්මවන පාඩුවක් සිදු කර තිබෙන බවට චෝදනා නඟන්නේ ද මෙම තත්ත්වය තුළය. බැඳුම්කර බූවල්ලා අර්ථසාධකය බිලි ගැනීමට මුල පුරා තිබෙන්නේ මේ ලෙස ය. එය කොතැනින් කෙළවර කරාවි දැයි කිව නොහැකිය. අන්තිමට කපුරු දැවූවා සේ කිරීමේ හැකියාව රනිල්, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් වැනි මහ දවල් මංකොල්ලකන්නන් හට හැකි බව නම් අපි ඉතා හොඳින් හඳුනාගෙන සිටිමු. මෙම අරමුදල රැුක ගැනීම අන්තර් සමාගම් සේවක සංගමයේ හෝ ‘ලංකා’ පත‍්‍රයේ හෝ විගණකාධිපතිගේ හෝ වගකීමක් පමණක් නොවේ. එදා මෙදාතුර එහි සාමාජිකයන් වූ එක්කෝටි හැටලක්‍ෂයක් පිරිසකගේ ද, ඊටත් වඩා වර්තමාන සාමාජික විසිිහතර ලක්‍ෂයකගේ ද මූලික වගකීමක් වී ඇත. එම වගකීම කරට නොගෙන කවුරුන් හෝ එය බේරා දෙන තුරු ලක්‍ෂ විසිහතරක් බකන් නිලාගෙන සිටියහොත්, එයින් පන්නරය ලබා ඊ.පී.එෆ්. එක නිකම්ම හිස් ඉලක්කම් ටිකක් බවට පත් කරනු නො අනුමානය..