එංගල්ස් විසින් මෙම සංඥාපනය ලියන ලද්දේ 1892 අපේ‍්‍රල් 20 වැනි දින දීය. ‘ප‍්‍රාග්ධනය’ සහ ‘කොමියුනිස්ට් ප‍්‍රකාශනය’ තරම්ම බොහෝ විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ සහ මහත් පරිහරණයට ලක් වූ මෙම පොත් පිංච ලියන්නට බල කළ සමාජ ඓතිහාසික පරිසරය, එහි අභියෝගය, එමෙන්ම එහි අඩංගුව පිළිබඳව මනා විස්තරයක් මෙම සංඥාපනයෙන් ඔහු ඉදිරිපත් කොට ඇත. සැබැවින්ම මෙම සංඥාපනය එංගල්ස් විසින් වෙනත් කෘතීන් සඳහා ඉදිරිපත් කරන ලද සංඥාපනයන් මෙන්ම තවත් පුළුල් කෘතියකි. එය පමණක් හැදෑරීමෙන් ද විප්ලවවාදියෙකුට අධ්‍යාපනිකව අත්පත් කොට ගත හැකි දේ අතිමහත් ය. එපමණක් නොව මෙයින් ‘සමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාව දක්වා සංවර්ධනය වීම’ යන කෘතිය පිළිබඳව ද මනා අවබෝධයක් හා එය කියැවීමට මනා අත්වැලක් සපයයි. සාමාන්‍ය පොත් පිටු 28කට ආසන්න ප‍්‍රමාණයක් සහිත මෙම සංඥාපනය පමණක් වෙනම අධ්‍යයනය කළ හැකි ය. එමෙන්ම ඉන් සමාජවාදය, සමාජවාදය බිහි කරන ධනවාදයේ මූලයන් ද පුළුල් විග‍්‍රහයකට ලක් කරයි. තවද ඕනැ ම විද්‍යාවක් මෙන්ම ‘සමාජවාදය නමැති විද්‍යාව’ අතීත චින්තනයේ සංකල්පයන්ගේ සිට විද්‍යාවක් බවට පත් වූයේ කෙසේ ද යන්න මෙහි පෙන්වා දෙනු ලබයි. මෙහි ලේඛනයට යටින් දිවෙන ඔහුගේ පරිශ‍්‍රමය තුළ කාල් මාක්ස් නම් ශ්‍රේෂ්ඨ චින්තකයා සමඟ නිර්ධන පංතියට මඟ පෙන්වන දර්ශනය තහවුරු කිරීමේ දී එංගල්ස් කෙතරම් නිහතමානීව, කෙතරම් සහෝදරාත්මකව සහ පංගුපේරුවකින් තොරව මාක්ස්වාදය වෙනුවෙන් ඉදිරිපත් වී ද යන්න මෙහි දක්නට ලැබේ. මෙම ලිපියෙහි සීමාසහිත ඉඩකඩ තුළ මෙම සංඥාපනයෙන් උපුටා ගන්නා කොටස් කිහිපයක් ගෙනහැර දක්වන්නෙමු. එම උපුටා ගැනීම් සංඥාපනයෙහි පෙළ පෙන්වා දීමක් මිස, නමුත් සමස්ත සංඥාපනය පුරාම දිවෙන අදහස් එකසේ අධ්‍යාපනික බව නැවත ද අවධාරණය කරනුයේ පාඨකයාගේ බුද්ධිමය අලස බව විසින් එම කියවීම අත්හැරෙන්නට තිබෙන අවස්ථාව වළකාලීම පිණිසය. ‘‘ජර්මන් සමාජවාදී පක්ෂයේ කොටස් දෙක වූ එයිසෙනාහ්වරුන් සහ ලසාල්වාදීන් එක්සත් වීම නිසා ඔවුන්ගේ ශක්තිය සංඛ්‍යාත්මක ලෙස වැඩි කර ගැනීමටත්, එපමණක් නොව එයටත් වඩා වැදගත් දෙයක් වන පොදු සතුරාට විරුද්ධව ඔවුන්ගේ මුළු මහත් ශක්තියම යෙදීමටත් හැකියාවක් ඇති වූ කාලයේ දී ම මෙය සිදු විය. ජර්මනියේ සමාජවාදී පක්ෂය ඉමහත් වේගයකින් බලයක් බවට පත්වෙමින් තිබිණ. එහෙත් එය බලගතු පක්ෂයක් ලෙස සුරකිව පැවතීමට නම්, අලූතෙන් දිනා ගත් සමගිය විනාශ කිරීමට ඉඩ නොදී එය ආරක්ෂා කර ගැනීම අන් හැමටම වඩා අවශ්‍ය දෙයක් විය. මෙය අතරතුර දී, ආචාර්ය ඩූරිං විවෘත ලෙසම තමා වටා නිකායක් සංවිධානය කිරීමටත්, අනාගත විශේෂ පක්ෂයක න්‍යෂ්ටියක් ඉදි කිරීමටත් ක‍්‍රියා කරන්නට විය. එනිසා අපේ රුචිය අරුචිය පසෙක තබා අප වෙත එල්ල කරන ලද මේ අභියෝගය පිළිගෙන සටනට අවතීර්ණ වීමට අපට සිදු විය.’’ මේ ‘සමාජවාදීය මනෝරාජ්‍යයෙන් විද්‍යාව දක්වා සංවර්ධනය වීම’ නම් පොත් පිංචෙහි මව් කෘතිය වන ‘ඩ්‍යුරින් විරෝධය’ ලියන්නට එංගල්ස් පෙළඹ වූ තත්ත්වය පිළිබඳව ඔහු විස්තර කරන ආකාරයයි. ඔහු ධනපති ක‍්‍රමයේ ආරම්භය හා විකාශනය පැහැදිලි කරන අතර හුදු භෞතිකවාදය දයලෙක්තික භෞතිකවාදය දක්වා වර්ධනයවීම ද දක්වයි. ‘‘ශ්‍රේෂ්ඨ ප‍්‍රංශ විප්ලවය ධනපති පංතියේ තෙවන කැරැුල්ල විය. ඒ සමඟම ආගමික සළුව සම්පූර්ණයෙන්ම විසි කොට විවෘත දේශපාලන පදනමක් මත අරගලය ගෙන ගිය පළමු වන කැරැුල්ල එය විය. මෙය, සටන් වැද සිටි එක් පාර්ශ්වයක්, එනම් රදල ප‍්‍රභූ පැළැන්තිය විනාශ කර දමන තුරු සහ අනික් පාර්ශ්වය වන ධනපති පංතියේ පූර්ණ ජයග‍්‍රහණය සැබවින්ම ගෙන ගිය පළමු වන කැරැුල්ල විය. එංගලන්තයේ ප‍්‍රාග් විප්ලවීය සහ පශ්චාත් විප්ලවීය ආයතන තව දුරටත් පවත්වා ගැනීම සහ විශාල ඉඩම් හිමියන්ගේ සහ ධනපතීන්ගේ සම්මුතිය අධිකරණ ප‍්‍රමුඛත්වය සහ නීතියේ රදලවාදී ස්වභාවය ආගමික ලෙස ආරක්ෂා කිරීම මඟින් ප‍්‍රකාශිත විය. ප‍්‍රංශ විප්ලවය එයට ප‍්‍රතිපක්ෂව අතීතයේ සම්ප‍්‍රදායයන් අවසානය දක්වා විනාශ කරලමින් රදලවාදයේ නෂ්ටාවශේෂයන් සමූලඝාතනය කළේය.’’ ‘‘මේ නයින් භෞතිකවාදය ප‍්‍රංශ විප්ලවයේ විශ්වාසයේ සංකේතය බවට පත් වූ අතර, දෙවියන්ට බියවූ ඉංග‍්‍රීසි ධනපති පංතිය ස්වකීය ආගම තවත් දැඩි කොට බදා අල්ලා ගත්තේ ය. ජනතාව ආගම පසෙක ලූ විට ඇති වන්නේ කුමක් ද යන්න පැරීසියේ ත‍්‍රස්තවාදය ආධිපත්‍යය ඉසිලූ කාලයේ සනාථ නොවී ද? භෞතිකවාදය ප‍්‍රංශයේ අසල්වැසි රටවලට පැතිර යාම වැඩි වත්ම, එයට න්‍යායික වශයෙන් බන්ධු ප‍්‍රවණතාවයන්ගෙන් එය පෝෂණය ලබත්ම, මහාද්වීපයේ උගතකුට අවශ්‍ය සුදුසුකමක් බවට භෞතිකවාදය සහ සාමාන්‍ය ස්වාධීන චින්තනය වැඩියෙන් පත් වත්ම, ඉංග‍්‍රීසි මධ්‍යම පංතිය ස්වකීය ආගමික විශ්වාසයන් කෙරෙහි වඩාත් මුරණ්ඩු ලෙස එල්බ ගත්තේ ය. මේ ආගමික විශ්වාසයන් එකිනෙක කොතරම් වෙනස් වුව ද, ඒවා ආගමික කිතුනු දහම ප‍්‍රකාශ කරන්නන් විය.’’ එංගල්ස් තම සංඥාපනය අවසන් කරන්නේ එවකට යුරෝපයේ ධනපති රටවල තිබූ විප්ලවීය සක‍්‍රීයතාවයත්, විශේෂයෙන්ම ජර්මනියේ කම්කරු ව්‍යාපාරයේ ජයග‍්‍රාහී ස්වරූපයත් හුවා දක්වමින් සුබවාදී දැක්මක් ඉදිරිපත් කරමින්ය.. ‘‘එසේ වතුදු, යුරෝපා කම්කරුවන්ගේ ජයග‍්‍රහණය එංගලන්තය මත පමණක් රඳා නොපවතී. එය සහතික කළ හැක්කේ අවමය වශයෙන් එංගලන්තයේ, ප‍්‍රංශයේ සහ ජර්මනියේ සහයෝගයෙනි. පසු කී දෙරටේ කම්කරු පංතික ව්‍යාපාරය එංගලන්තයේ එම ව්‍යාපාරයට වඩා බොහෝ ඉදිරියට ගොසිනි. ජර්මනියේ කම්කරු පංතික ව්‍යාපාරයේ ජයග‍්‍රහණයේ කාලසීමාව පවා මිනිය හැකි තරම්ය. මින් පෙර නොවූ විරූ තරම් දියුණුවක් එය ඉකුත් විසිපස් වසර තුළ දී ලබා ඇත. දේශපාලන දක්ෂතාවය, විනයගරුක බව, ධෛර්යය, ශක්තිය හා නොපසුබට වීර්යය වැනි ගුණයන් ජර්මන් මධ්‍යම පංතියට නොමැති බව පෙන්නුම් කර තිබේ නම්, ජර්මන් කම්කරු පංතියට මෙම ගුණයන් සෑහෙන තරම් තිබෙන බව එය නිසැක ලෙස ඔප්පු කොට ඇත. මීට වසර හාරසියයකට පෙර ජර්මනිය යුරෝපයේ මධ්‍යම පංතියේ විශාල නැඟිටීමේ මූලාරම්භක ස්ථානය විය. අද්‍යතන තත්ත්වය අනුව ජර්මනිය යුරෝපා නිර්ධන පංතියේ ප‍්‍රථම මහා ජයග‍්‍රහණයේ වේදිකාව බවට පත් විය නොහැකි ද?’’ මෙම සංඥාපනය මාක්ස් එංගල්ස් තෝරා ගත් කෘති වෙළුම 3 (සිංහල* ප‍්‍රගති ප‍්‍රකාශන 1982 මුද්‍රණයෙන් හෝ ‘සමාජවාදය මනෝරාජ්‍ය විද්‍යාව දක්වා සංවර්ධනය වීම’ යන (සිංහල* ප‍්‍රගති ප‍්‍රකාශනයෙන් කියැවිය හැකි බව එය කියැවීමට කැමති පාඨක ඔබේ පහසුව පිණිස සඳහන් කරමු. .