වඳුරාට දැලි පිහිය ලැබුණු විට විය හැකි බොහෝ දේ තිබෙන බව අපි දනිමු. මෙතෙක් කලක් බලය ලබා ගත් දේශපාලනඥයන් හැසිරී ඇත්තේ, දැලි පිහි අතට ගත් වඳුරන්ටත් අන්ත ලෙස බව සිදු වූ බොහෝ දේවලින් අපි අත්විඳ ඇත්තෙමු. අද සමාජයේ මහත් කතිකාවක් බවට පත්ව තිබෙන සයිටම් අර්බුදයද එයට කදිම උදාහරණයකි. සයිටම් ආයතනයට බඳවා ගන්නා සිසුවකුගේ හෝ සිසුවියකගේ පාඨමාලා ගාස්තුව එක්කෝටි විසිලක්ෂයකි. එනම්, සයිටම් යනු සල්ලි ආකරයකි. බලයට හා මුදලට කෑදර දේශපාලන වඳුරන් කළේ මේ සල්ලි ආකරය ඉහගෙන කෑමට පොරකෑමයි. තවත් දේශපාලනඥයන්ට තමන්ගේ, තම ඥාතීන්ගේ අඩු සුදුසුකම් සහිත දරුවන් වෛද්‍යවරුන්, වෛද්‍යවරියන් කර ගැනීමට ලැබුණු අනගි අවස්ථාවකි. සයිටම් බලධාරීන්ද, මෙකී වඳුරු දේශපාලකයන්ද එකට එක් වී ව්‍යාජ බේගල් කප්පරක් ඇතුළත් කරමින්, සකස් කළ වාර්තාවලින් ‘සයිටම්’ නම් කළු කඩය ආරම්භ කෙරිණ. හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂත්, එවකට උසස් අධ්‍යාපන ඇමති වූ එස්. බී. දිසානායකත් ඇතුළු ආණ්ඩුව මෙයට පූර්ණ රැුකවරණයත්, ආශීර්වාදයත් ලබා දුන්හ. වෛද්‍යවරයකු වීම ‘සුපිරි බලයක්’ ලෙස දකින සමාජ සංස්කෘතියක් තුළ දෙමව්පියන්ද, දරුවන්ද වෛද්‍ය සිහිනයෙන් අන්ධ කරන ලදුව සයිටම් වෙත ආහ. යහමින් මුදල් නැති අය ඉඩකඩම් උකස් කර ණය වී දරුවන් සයිටම් එකට දැමූහ. සයිටම් බලධාරීන් මවා පෙන් වූ ‘වෛද්‍ය පීඨය’ වෙනුවට සැබැවින්ම එහි වූයේ මොන්ටිසෝරියක් වුවද, සියල්ලෝම කට පියාගෙන සිටියහ. එවකට උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක එයට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අනුමැතියද ලබා දුණි. බඳවා ගන්නා පදනමේ සිටම එහි පැවැතියේ මෙවැනි කණගාටුදායක තත්ත්වයකි. මේ ප්‍රෝඩාවට හසු වී වසර ගණනාවක් පුරා එයට ඇතුළත් වූ සිසු සිසුවියන් අද අන්ත අසරණය. ඔවුන් වෛද්‍යවරුන් ලෙස රෝගීන්ට ප‍්‍රතිකාර කිරිමට පැමිණියහොත්, රෝගීන් අනාථය. දැන් මෙයට එරෙහිව රට පුරා විරෝධතාය. ඒ අතර සයිටම් කළු කබාය ආරක්ෂා කර ගැනීමට එහි ආරක්ෂකයෝ සිය සල්ලි ආකරය යොදවමින් සිටිති. ඒ අනුව හොරිකඩ වෘත්තීය සමිති ලොක්කෙකුත්, ආණ්ඩුව කරන ඕනෑම ප්‍රෝඩාවක් ආරක්ෂා කරන කලාකරුවකු යැයි කියන පුද්ගලයකුත් ආණ්ඩුවේ මාධ්‍යවල බෙරිහන් දෙන්නට පටන්ගෙන තිබේ. මේ වන විට ලංකාවේ සියලූ වෛද්‍ය පීඨවල සිසු සිසුවියන් මේ කළු කඩයට එරෙහිව පන්ති වර්ජනයකය. සියලූ විශ්වවිද්‍යාලවල උද්ඝෝෂණය. වෘත්තීය සමිති හරහා පෞද්ගලික අංශයේත්, රාජ්‍ය අංශයේත් සේවකයන් සයිටම් කළු කඩයට එරෙහිව විරෝධතාවයේය. විශේෂයෙන් වෛද්‍ය සංගම් සියල්ල විශාල විරෝධතා ව්‍යාපාරයන්ට අවතීර්ණ වෙමින් සිටිති. වෛද්‍ය පීඨ සියල්ලේම ආචාර්ය මණ්ඩල සයිටම් කළු කඩයට තම විරෝධය පළ කරමින්, වහා ම මේ ප‍්‍රශ්නය විසඳන ලෙසත්, නැත්නම්, තමන්ද දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බවත් ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ. ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂද, සිවිල් සංවිධානද ප‍්‍රබල විරෝධතාවක් ගෙන යමින් සිටිති. ජනාධිපති මෛත‍්‍රී, කෝකටත් තෛලය මෙන් සයිටම් ප‍්‍රශ්නයටද කොමිසමක් පත් කර තිබේ. ජනාධිපති මෛතී‍්‍රද පසුගිය ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙසද සිටි බව අමතක කළ යුතු නැත. අවසානයේ සිදුව ඇත්තේ, විසැඳුම් නොමැති අර්බුදයක් ඉතිරි වීම පමණි. කවර විසඳුමකට ගියත් ප‍්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳිය නොහැකිය. දැන් මේ ප‍්‍රශ්නයට වගකිව යුත්තේ කවුරුන්ද? සයිටම්හි ඉගෙනුම ලබන තරුණ, තරුණියන්ද මේ රටේ දරුවන් බව සැබෑය. ඔවුන් වැය කළ ධනය, ඔවුන්ගේ කාලය යළි ලබා ගත නොහැකිය. අනෙක් පසින් ගුරු, සිසු, ආචාර්ය බලවේගද, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කේෂ්ත‍්‍රයද සටනකය. අද මේ සියල්ලන්ට මේ අර්බුදයේ වන්දි ගෙවීමට සිදුව තිබේ. එහෙත්, බලයටත්, සල්ලි ආකරයටත් කෑදරකමින් වඳුරු වැඩ කළ දේශපාලනඥයෝ අදත් යෙහෙන් වැජඹෙති. ඔවුන්ට මේ කිසිදු ප‍්‍රශ්නයක් ප‍්‍රශ්නයක් ලෙස පෙනී නැත. මෙම වඳුරු දේශපාලකයන් බලයට පත් කළේ කවුරුන්ද? ඔවුන්ට ඡුන්ද ලබා දුන්නේ කවුරුන්ද? ඔවුන් ඇදබාන බේගල්වලට රැුවටුණේ කවුරුන්ද? ඒ මෙරට ජනතාවය. ඒ නිසා තවත් ආකාරයකින් මේ වගකීම ජනතාවටද පැමිණෙයි. සයිටම් වැනි කළු කඩයක් ඇරඹීමට මේ තක්කඩින්ට අවස්ථාව ලැබී ඇත්තේ, අධ්‍යාපනයේ පවතින අර්බුදය නිසාමය. උසස් පෙළ සමත් වන සිසු සිසුවියන් 1,50,000කින් පමණ සරසවි වරම් ලබන්නේ යාන්තමින් 30,000කට ආසන්න පිරිසකි. ඉතිරි සියලූ දෙනාම අසරණ වේ. මේ සියලූ දෙනාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් මේ රටේ වැඩපිළිවෙළක් ඇත්තේ නැත. කළු කඩකාරයන් රිංගන්නේ මේ හිඩැස්වලටය. මේ අධ්‍යාපන අර්බුදයේ එක් තැනක් පමණි. දරුවකුට පාසලක් ලබා ගැනීමේ ප‍්‍රශ්නය අද නාගරික දෙමව්පියන්ට මාරාන්තික ගැටලූවකි. තිබෙන පාසල් අතරද විෂමතාවය අහසට පොළොව මෙනි. ජාත්‍යන්තර පාසල් නමින් පෞද්ගලිික පාසල් ජාලයක් බිහිව ඇත්තේ, ඒ අනුවය. ඒවායේ ප‍්‍රමිතීන් ගැන කිසිවකු කතා කරන්නේ නැත. ඒ නිසා සයිටම් ප‍්‍රශ්නය සමස්ත අර්බුදයේ එක් ප‍්‍රකාශනයක් පමණි. වඳුරන්ට දැලි පිහිදීම නතර නොකරන්නේ නම්, අනෙක් සෑම ප‍්‍රශ්නයක්ම සයිටම් කළු කඩ ප‍්‍රශ්නය වැනි ප‍්‍රශ්න බවට පත් වීම වැළැක්විය නොහැකිය..