පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටුම්පේ උතුර ග‍්‍රාම නිලධාරී බලප‍්‍රදේශයට අයත් නුරානි කන්දේ සිදු වන පරිසර විනාශයට එරෙහිව ප‍්‍රදේශයේ ජනතාව පසුගිය 11 වැනිදා විරෝධතාවයක නිරත වූහ. කොළඹ දිස්ති‍්‍රක්කයට අයත් මිහිරිගල කන්ද හා පිටුම්පේ කන්ද විනාශ කරමින් පවත්වාගෙන යනු ලබන ගල් කොරිය පිළිබඳව ප‍්‍රදේශයේ ජනතාව විසින් ජනාධිපතිවරයාගේ සිට වගකිව යුතු සියලූ නිලධාරීන් දැනුම්වත් කළ ද, මේ වන තුරු ගැටලූවට පිළිතුරක් නොලැබීම හේතුවෙන් ඒකරාශී වූ ප‍්‍රදේශයේ ජනතාව මෙලෙස විරෝධතාව සංවිධානය කර තිබිණි. ‘බොරු පරීක්ෂණ එපා’, ‘බලධාරීන් මුදලට යට නොවනු’, ‘පිටුම්පේ කන්දට අත නොතබනු’ ආදී විරෝධතා පුවරු රැුගත් උද්ඝෝෂකයෝ හයිලෙවල් මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූහ. මෙම ගල්කොරිය හේතුවෙන් ප‍්‍රදේශයේ ජන ජීවිතයට සිදුව ඇති බලපෑම අති මහත් ය. ප‍්‍රධාන වශයෙන් ම පානීය ජල මූලාශ‍්‍ර සිඳී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර, මෙම කඳු පන්තියෙන් මුදා හැරෙන ජල ධාරාවන් හයකට වැඩි ප‍්‍රමාණයක් මේ හේතුවෙන් විනාශ වී ගොස් තිබේ. ඒ අනුව එම ජල ධාරාවන්ගෙන් පෝෂණය වන කුඹුරු අක්කර දහස් ගණනක් ද විනාශමුඛයට පත්ව තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් අඩි පහකට අඩු ගැඹුරක් ඇති හා අඩු බලයකින් යුත් ගල් වෙඩි දැමීමට නිර්දේශ කර ඇතත්, මේ වන විට එම නිර්දේශයන් නොතකා වඩා ගැඹුරට ගල් වෙඩි දමන බවත්, දිනකට එවැනි ගල් වෙඩි සිය ගණනක් පුපුරුවා හරින බවත් ප‍්‍රදේශවාසීහු ප‍්‍රකාශ කර සිටිති. එමෙන් ම පුපුරුවා හැරීම් හේතුවෙන් ඇති වන දුහුවිල්ල පරිසරය පුරා පැතිර ගොස් තිබේ. පරිසර ඇමතිවරයා වනුයේ ද ජනාධිපතිවරයාමය. එසේ වුව ද, මෙම ජනතාවගේ ඉල්ලීම බීරි අලින්ට වීණා වැයුවා සේ නිෂ්ඵල වී තිබේ. මහින්ද රාජපක්ෂ සේ ම මෛතී‍්‍ර ද අලංකාර වචනවලින් ජනතාව මුළා කිරීමට දක්ෂ බව එම ගැටලූවලට මුහුණ පා සිටින ප‍්‍රදේශවාසීහු ප‍්‍රකාශ කර සිටිති. විරෝධතාව අතරතුරදීම ප‍්‍රදේශවාසීන් විසින් ප‍්‍රාදේශීය ලේකම්වරයාට සන්දේශයක් භාර දීමට කටයුතු සූදානම් කර තිබුණ ද, ප‍්‍රාදේශීය ලේකම්වරයා එම ස්ථානයට නොපැමිණීම හේතුවෙන් විරෝධතාව දිගින් දිගට ම පැවැත්විණි. විවිධ සංවිධානවල නියෝජිතයන් මෙන් ම ප‍්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටි අතර, සුදර්ශනාරාම විහාරාධිපති, බෝපේ ඉන්ද්‍රජෝති, පිටුම්පේ ශී‍්‍ර පූර්වාරාමයේ විහාරාධිපති, මහගම හේමතිලක හිමියන් ද ජනතාව අතර සිිටිනු දක්නට ලැබිණ. පාරිසරික අතින් මෙන් ම ඓතිහාසිකව ද ඉමහත් වැදගත්කමක් උසුලන මෙම ප‍්‍රදේශය එහි ජනතාව ද මේ වන විට මුහුණ පා ඇත්තේ දරුණු ඛේදවාචකයකට ය. පාලකයෝ ජනතා ගැටලූ ඉදිරියේ නෑසූකන්ව සිටිති. නිලධරයෝ ජාවාරම්කරුවන්ගේ වරදාන, වරප‍්‍රසාද හා අල්ලස්වලට යට වී ජනතා ප‍්‍රශ්න මඟහරිමින් කටයුතු කරති. ජනතාවට ඉතිරිව ඇත්තේ, තම අරමුණු වෙනුවෙන් සටන් බිමට අවතීර්ණ වීම පමණි. සිදු කරමින් පවතින මෙම දැවැන්ත විනාශයට එරෙහිව වේවැල්පනාව, මීපේ, දෙකඳුවල සහ මාවතගම ප‍්‍රදේශවාසීහු එක්ව විරෝධතා කි‍්‍රයාමාර්ගවලට එළැඹ ඇත්තේ එහෙයිනි. පාලකයන් හා නිලධාරීන් ජනතාව නොතකා හරින්නේ නම්, ඔවුනට බලපෑම් කළ හැකි කි‍්‍රයාමාර්ග සඳහා ජනතාව පෙළගැසීම නොවැළැක්විය හැකි ය. සිදු විය යුත්තේ ද එයමය..