රථවාහන වැරදි හතක් සම්බන්ධයෙන් රුපියල් විසිපන් දහසක දඩයක් නියම කිරීමට අදාළ සංශෝධිත නව දඩ පත‍්‍රිකාව ඉදිරි සතියේ දී හඳුන්වා දෙන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් නිහාල් සෝමවීර මහතා සඳහන් කළේ රථවාහන වැරදි සඳහා වන නව දඩ පත‍්‍රිකාව මේ වන විටත් කෙටුම්පත් කර අවසන් බවයි. මෙම දඩය පැනවීමේ දී මෝටර් රථ ප‍්‍රවාහන පනතේ සංශෝධනයක් සිදු කළ යුතු බව ඔහු පැවසූ අතර, එම කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් බව ද සඳහන්ය. මෙම දඩය සම්බන්ධයෙන් ඉකුත් සමයේ ඇති වූ දැඩි කතාබහ නිසා ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ මණ්ඩලයක් පත් කරනු ලැබීය. ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් හා රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද එහි සාමාජිකයන් වේ. ඔවුන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් සමයේ අදාළ දඩය පිළිබඳ සාකච්ඡුාවට කිහිපයක් සිදු කර තිබේ. ඒ අනුව නව දඩ පත‍්‍රිකාව එළඹෙන සතියේ බස් සංගම් සහ ත‍්‍රීරෝද රථ ඇතුළු ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ සංගම් වෙත ලබා දෙන බව ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි. ප‍්‍රධාන රථවාහන වැරදි හතට අමතරව තවත් රථ වාහන වැරදි 33කට අදාළ දඩ සම්බන්ධයෙන් මෝටර් රථ ප‍්‍රවාහන පනත සංශෝධනය කර ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. ණය ගිනි කන්ද... .