වෛද්‍ය කඩයේ කොටස් නාමල්ටත් මාලබේ හොර උපාධි කඩය ආරම්භ කිරීමේ දී නෙවිල් ප‍්‍රනාන්දු සහ සමීර සේනානායක යන අය සමඟ සමීප අවබෝධයෙන් කි‍්‍රයා කර ඇත්තේ, නාමල් රාජපක්ෂ බවත්, ඒ තුළින් මෙය ආරම්භ කිරීමට රාජ්‍ය බැංකුවලින් රුපියල් මිලියන 600ක ණය මුදලක් ඇප රහිතව ලබා දී තිබෙන බවත් තොරතුරු හෙළි වෙමින් තිබේ. හොර වෛද්‍ය උපාධි කඩයේ පරිපාලන අධ්‍යක්ෂ බව කියන සමීර සේනානායක නමැත්තාට වෙඩි තැබූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලදී අමතර කරුණක් වශයෙන් එම දේශපාලන සම්බන්ධතාව සහ ඇප රහිත ණය ලබා දීම පිළිබඳ තොරතුරු හෙළි වෙමින් තිබේ. වෙඩි තැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කරමින් සිටිය දී සමීර සේනානායක නමැත්තා හොර රහසේ ම රුසියාවට පළා ගොස් ඇති බව හෙළි වී ඇත. වෙඩි තැබීම කරන ලද්දේ යැයි කියන අවස්ථාවේදී සමීර සේනානායක ඇඳගෙන සිටි ඇඳුම් රසපරීක්ෂකවරයාට යොමු කිරීමත් සමඟ මොහු රටින් පළා ගියේය. මෝටර් රථයේ වීදුරු කැබලි ඇඳුම්වල තිබිය යුතු බවත්, ඒවා මඟින් ඉතා වැදගත් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවත් පරීක්ෂණ පවත්වන කණ්ඩායම් සැක හැර විශ්වාස කරයි. මේ අතර වෙඩි වැදී තිබෙන ස්වභාවය අනුව පොලිසිය විසින් ආකෘතියක් (ඩමියක්* යොදා කරන ලද පරීක්ෂණයකින් තහවුරුවී ඇත්තේ, රියැදුරු අසුනේ සිටි බව කියන සමීර සේනානායකට නියත වශයෙන්ම වෙඩි වැදිය යුතු බවය. මේ අතර සමීර සේනානායකට වෙඩි තැබීමේ සිද්ධිය ගැන ප‍්‍රවෘත්ති පළ වීමට පෙර පැවැත් වූ මාධ්‍ය හමුවක දී ජවිපෙ නායක අනුර දිසානායක විසින් තොරතුරු හෙළි කරමින් කියා සිටිනු ලැබුවේ මොහු වෛද්‍යවරයකු ලෙස විභාග සමත්ව ලියාපදිංචි වී නොමැති බවය..