ජලය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම පිළිබඳ ලෝකයේ මෙන්ම ලංකාවේද පාලකයන් තුළ ඇති උනන්දුව සුළුපටු එකක් නොවන බව ‘ලංකා’ විසින් මින් පෙර හෙළිදරව් කරන ලදී. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ සිට මේ දක්වා සියලූම ජනාධිපතිවරුන් මෙන්ම ආණ්ඩු ඒ සඳහා විවිධ පිඹුරු පත් සකසනු ලැබීය. එය එපරිද්දෙන්ම ඉදිරියට ගෙන යමින් වර්තමාන ආණ්ඩුවද ජලය වෙළෙඳ භාණ්ඩයක් පමණක් බවට පත් කිරීමට කරන ලද සැලසුම්ද මේ වන විට එකින් එක අනාවරණය වෙමින් තිබේ. ඒ සඳහා වර්තමාන ආණ්ඩුව අලූත්ම ප‍්‍රවේශයක් ගනිමින් මතු වී ඇති වියළි කාලගුණ තත්ත්වයන් සහ ඒ නිසා ඇති වී තිබෙන ජල අර්බුදය දඩමීමා කර ගනිමින් දේශගුණික විපර්යාස අවම කිරීමේ වැඩසටහන යටතේ කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තුදීම වෙනුවෙන් ජලය හා ජල මූලාශ‍්‍ර කළමනාකරණ වැඩසටහන් සකස් කිරීමට හා කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වේ. පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජල කළමනාකරණය සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 110ක ණයවරක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇති බවද මේ වන විට හෙළි වී තිබේ. 2014.02.10 දින අංක 14/0194/504/026 රහසිගත අමාත්‍ය මණ්ඩල සංදේශයක් මඟින් ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 110ක ණයවරක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති අතර, එම ණය මුදල යොදා ගනිමින් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ කාලගුණික විද්‍යාත්මක විපර්යාස කෙරෙහි භෞතිකව ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට ව්‍යාපෘතියක් නමින් සකස් කර ඇත. 2014.02.10 දින මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශය අංක ඩබ්/ඞී.එම්/01/එල් යටතේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයට එවා ඇති ලිපියකින් මෙම ව්‍යාපෘතිය කරගන යාම සඳහා වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම් කිරීමේ ඒකකයට පවරා ඇති අතර, ජල සම්පත් කළමනාකරණය කිරීම නැත්නම් ජලය හා ජල මූලාශ‍්‍ර විකිණීමට අවශ්‍ය සියලූ කටයුතු මේ හරහා සිදු වනු ඇත. වසර විසිපහකින් ගෙවා නිම කිරීමට ගන්නා මෙම ණය මුදලට වාර්ෂික පොලී අනුපාතය සියයට 1.25කි. මෙම ණයවර ලබා දෙන ලෝක බැංකුව දිගින් දිගටම පවසන්නේ ලංකාවේ ගොවිතැනට ජලය ලබා දීම පාඩු ලබන ක‍්‍රියාවක් බැවින්, ලබා දෙන ජලය වෙනුවෙන් ගොවියන්ගෙන් මුදල් අය කර ගත යුතු බවය. තව දුරටත් ලංකාවේ ජල සම්පත විකිණීම වෙනුවෙන් ණය ලබා දෙන ලෝක බැංකුවේ එක`ගතාවයන් අතර ජලය පෞද්ගලිකකරණය කිරීම පළමු කාර්යයක් වේ. ඒ අනුව අද වන විට වර්තමාන ආණ්ඩුව සියලූම ජල මූලාශ‍්‍ර කළමනාකරණය කිරීමේ නැතහොත් විකිණීම සඳහා වූ එහි ඉදිරි පියවර එකින් එක සැලසුම් කරමින් සිටියි. ලොව පුරා ජලය පෞද්ගලිකකරණ කි‍්‍රයාවලි මෙහෙයවනු ලබන්නේ් සහ ඉන්පසු එහි පාලනය අත් පත් කර ගනු ලබන්නේ ලොව ප‍්‍රබලම බහුජාතික සමාගම් අතළොස්සක් විසින්ය. ජලය සොබාදහම විසින් ලබා දෙන දෙයක් නිසා ඊට නිෂ්පාදන වියදමක් නොමැත. ඒ නිසා ජලය වෙළෙඳාම මඟින් අති විශාල වූ ලාභයක් ලබා ගත හැකිය. මෙම තත්ත්වය ඇමරිකාවේ මුල් පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන ‘ෆෝචූන්’ සඟරාව 2000 මැයි කලාපයේ දක්වා තිබුණේ හැම දෙනාටම අවශ්‍ය, අනාගතයේදී තව තවත් අවශ්‍ය වන ජලය, ලොව දැවැන්තම ව්‍යාපාරික අවස්ථාවන් බිහි කරමින් පෞද්ගලිකකරණය වෙමින් ඇති බවත් ඒ සඳහා දැන් අති විශාල මුදල් ප‍්‍රමාණයක් ආයෝජනය කරමින් ඇති බවත්ය. පොදු සම්පතක් වන ජල සම්පත පෞද්ගලිකකරණය කිරීම සඳහා වන මෙම කුමන්ත‍්‍රණයේ ලංකාව තුළ පදනම වන්නේ, මෙරට ජල සම්පත වඩාත් කාර්යක්ෂම ආකාරයට ප‍්‍රයෝජනයට ගැනීම සඳහා යයි කියමින් ජාතික ජල ප‍්‍රතිපත්තියක් සකස් කිරීමයි. ඒ අනුව සැකසෙන මෙම ප‍්‍රතිපත්ති ලේඛනය හඳුන්වාදී ඇත්තේ ‘ජාතික ජල සම්පත් ප‍්‍රතිපත්තිය’ යනුවෙනි. එහි එක් පියවරක් ලෙස ප‍්‍රජා මූල ජල සමිති 3,500ක් පාලනය කිරීමට ජල සම්පත් අධිකාරියක් පිහිටු වීමට පසුගිය රජය ගත් තීරණය ක‍්‍රියාවට නැෙඟ්. මේ ජල මංකොල්ලය නීත්‍යනුකූලව කි‍්‍රයාත්මක කිරීම ස්ථිර ආයතන තුනක් හරහා සිදු වේ. ඒ ජාතික ජල සම්පත් අධිකාරිය, ජල සම්පත් මණ්ඩලය හා ජල සම්පත් විනිශ්චය සභාවයි. ජාතික ජල සම්පත් අධිකාරියට ජල හිමිකාරීත්වය පැවරීම, නියෝග පැනවීම, ආදී පරිපාලන කටයුතු පැවරේ. ජල සම්පත් මණ්ඩලයට පැවරෙන්නේ මේ පිළිබඳ කටයුතුවල දී උපදේශක මණ්ඩලයක් ලෙස කි‍්‍රයා කිරීමයි. ජල සම්පත් විනිශ්චය මඟින් සිදු කරනු ලබන්නේ මෙතැන් සිට රජය සතු වන බව කියන ජලය ජනතාව විසින් භාවිතයට ගැනීම පාලනය කිරීමය. එසේම ජල අයිතිය ලබා ගන්නා සමාගම් හා ජලය භාවිත කරන ජනතාව අතර ඇති වෙන ආරවුල් විසඳීමයි. මේ අනුව ජීවීන් ලෝකයට බිහි වූ දින සිට මෙතෙක් කාලයක් තිස්සේ වැවක, ඇළක, දොළක හෝ ගංගාවක පමණක් නොව තමන්ගේම ළිඳේ ජලය භාවිතා කිරීමට තිබූ නිදහස් අයිතිය මෙරට ජනතාවට අහිමි වී යනු ඇත. ශ‍්‍රී ලංකාවට නිරිත දිග හා ඊසාන දිග මෝසම් සුළං මඟින් වසරකට දෙවරක් විශාල වැසි ප‍්‍රමාණයක් ලැබේ. මෙය ලෝකයේ වාර්ෂික දළ වර්ෂාපතනය මෙන් තුන් ගුණයකට ආසන්න වේ. ඒ නිසා මිරිදිය ජල සම්පත අයිති කර ගැනීමට අවශ්‍ය කුමන හෝ බහු ජාතික සමාගමකට ලංකාව සුවිශේෂී රටකි. එසේම මේ වන විට ලෝකයේ බොහෝ රටවල සිදු කරන ලද සංවර්ධනය විසින් විනාශය කරා ඇද දමා ඇති මහ පොළොවේ ජීවය වන ජලය දිනෙන් දින ¥ෂණය වෙමින් හා නාස්ති වෙමින් පවතී. යුනෙස්කෝ සංවිධානය පවසන ආකාරයට දිනකට අපවිත‍්‍ර ජලය මිලියන ලීටර දෙකක ප‍්‍රමාණයක් ලොව පුරා ඇති පිරිසිදු ජල මූලාශ‍්‍ර වෙත ගලා ඒමට සලස්වා ඇත. වසරකට ටොන් මිලියන 300ත් 400ත් අතර ප‍්‍රමාණයක බැර ලෝහ ජලයට එක් වීම නිසා ලොව පුරා ශීඝ‍්‍ර ලෙස පිරිසිදු ජලය හා ජල මූලාශ‍්‍ර විනාශ වෙමින් පවතී. මේ නිසා ජල නාස්තිය හා දූෂණය ලොව පුරා ප‍්‍රබල පාරිසරික ප‍්‍රශ්නයක් බවට පරිවර්තනය වී ඇති අතර, අපිරිසිදු ජලය පානය කිරීම නිසා දිනකට ලොව පුරා මිය යන සංඛ්‍යාව 14,000ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ නිසා ජලය ලොව පුරාම හොඳ වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වී තිබේ. දැන් බහුජාතික සමාගම්වල අවශ්‍යතාවය වී ඇත්තේ මේ වෙළෙඳපොළ අත්පත් කර ගැනීමයි. එසේම බටහිර රටවල අධික ඉල්ලූමක් පවතින ගර්කින්, දුම්කොළ වැනි ඇතැම් වගාවන් ඒ රටවල සාර්ථකව සිදු කළ නොහැකි නිසා ඒවා ජල සම්පත බහුලව පවතින රටවල් වෙත ව්‍යාප්ත කිරීම ද තවත් එක් සැලසුමකි. ඒ සඳහා ලංකාවේ දී මෙරට පැවත එන කෘෂිකාර්මික කටයුතු අඩාල කළ යුතු වේ. එහිදී වී වගාව අකර්මණ්‍ය කිරීම අනිවාර්යයකි. වර්තමාන ආණ්ඩුව ඒ සැලසුම්වල මෙරට කාර්යභාරය මැනැවින් ඉටු කරමින් පොහොර කප්පාදුව, ජලය ප‍්‍රමාණවත් පරිදි ලබා නොදීම සහ වගා කටයුතු සීමා කිරීම හරහා එම තත්ත්වය නිර්මාණය කරමින් සිටියි. මතු වී ඇති වියළි කාලගුණ තත්ත්වය යටතේ ජලය කළමනාකරණය කළ යුතු බවට යෝජනාවක් එන්නේද එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව ඇති වී තිබෙන ගැටලූ කිසිවක් සඳහා අවධානය යොමු නොකොට සියලූ විනාශයන්ගෙන් ගැලවී ඉතිරි වන දිය පොදත් විකිණීම වෙනුවෙන් මේ වන විටත් කටයුතු සිදු වෙමින් පවතී. ජලය විකිණීම වෙනුවෙන් කළමනාකරණය කිරීම හා සංරක්ෂණය වෙනුවෙන් කළමනාකරණය කිරීම යනු එකක් නොව දෙකක්ය. පවතින නියං තත්ත්වය සහ 2020 වන විට ශ‍්‍රී ලංකාවේ ජල හිඟයක් ඇති වනවා යැයි පවසා කළමනාකරණය කිරීමේ මුවාවෙන් ජල අයිතිය සමාගම් සතු කිරීම කෙතරම් අමන ක‍්‍රියාවක්ද? ජල කළමනාකරණයට අවශ්‍යතාවයක් තිබේ නම්, පළමුව කළ යුත්තේ ශ‍්‍රී ලංකාවේ ලක්ෂයකට වඩා ඇති වැව්, කුළු වැව්, දළු වැව්, මහවැව්, ඔළගම් වැව්, ඇළ, වේලි, විල්, ඇතුළත් වූ පැරණි ජල කළමනාකරණ සැලැස්ම නැවත සක‍්‍රීය කිරීමයි. එසේ නොමැතිව නිදහස් ජල අයිතිය පිළිබඳ මිනිසාට ඇති හිමිකම අහිමි කරමින් අණ පනත් සකසන්නේ නම්, ඒ සිදු කරමින් සියල්ල විකිණීම තම එකම දේශපාලන සැලැස්ම කරගෙන සිටින වත්මන් ආණ්ඩුව අවසානයේ බීමට දිය පොදක් හෝ නොමැති ජනතාවක් බවට මෙරට ජනතාව පත් කිරීමට හෙවත් මෙරට ජනතාවට මරණයේ දොරටුව විවර කරදීමයි. .