යුක්තිය වෙනුවට අයුක්තියත්, සාධාරණය වෙනුවට අසාධාරණයත්, මනුෂ්‍යත්වය වෙනුවට අමානුෂිකත්වයත් රජ කළ යුගයක ඊට අරගල කළ ශ්‍රේෂ්ඨතමයන් අතර හමු වන අභීත මාධ්‍යකරුවා වනුයේ රිචඞ් ද සොයිසාය. එක් අතකින් ඔහු ප‍්‍රවීණ ජනමාධ්‍යවේදියෙකි. තවත් අතකින් ලොවම පිළිගත් අද්විතීය මානව හිමිකම් කි‍්‍රයාකාරිකයෙකි. එසේම ඔහු ජනහිතකාමී කලාකරුවෙකි. එජාප ආණ්ඩුව විසින් අයුක්තිසහගත අයුරින් කෲර වධ බන්ධනයන්ට ලක් කර මරා දමා පසුගිය 19 වෙනිදාට වසර 27ක් සපිරේ. ඔහු මරා දැමූවද, ඔහුගේ මතකය කිසිදා මානවහිතවාදී ජන හදවත් තුළින් ඈත් නොවන බව යථාර්ථයක් වී තිබේ. රිචඞ් ද සොයිසා උපත ලබන්නේ 1958 මාර්තු 18 වෙනිදා කොළඹදීය. ඔහුගේ පියා වූයේ ලූෂන් ද සොයිසා මහතාය. ඔහුගේ මව ආචාර්ය මනෝරාණි සරවනමුත්තුය. ඇය ප‍්‍රකට වෛද්‍යවරියකි. රිචඞ් අධ්‍යාපනය හදාරා ඇත්තේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. ඉංගී‍්‍රසි අංශයෙන් අධ්‍යාපනය හැදෑරූ රිචඞ් පාසල් කාලය තුළ දීම සුවිශේෂී දක්ෂතා දැක්වීය. විශේෂයෙන්ම ඔහු අතිදක්ෂ කථිකයෙකි. එසේම ඔහු අතිදක්ෂ රංගධරයෙකු ලෙසින්ද කැපී පෙනිණි. නාට්‍යකරණය පිිළිබඳව ඔහු තුළ පැවැතියේ සුවිශේෂී හැකියාවකි. බටහිර ශාස්තී‍්‍රය සංගීතය සහ ඔපෙරා ඔහුගේ විනෝදාංශ වී ඇත. ඔහු ජනපි‍්‍රය බටහිර නාට්‍ය නිෂ්පාදකයෙකු මෙන්ම නළුවෙකුද විය. රිචඞ්ද සොයිසාගේ දක්ෂතා පිළිබඳව වර්තමාන සමාජය මැනැවින් තේරුම් ගත යුතුමය. විශේෂයෙන්ම මාධ්‍ය ක්ෂේත‍්‍රයේ නියැළී සිටින්නවුන් රිචඞ් නම් අදීන මාධ්‍යවේදියා කියැවිය යුතුමය. රිචඞ් ශාස්තී‍්‍රය සංගීතයට බෙහෙවින්ම ඇළුම් කළේය. ඔහු උරුවම් බාන්නේද (විසිල්* යම් රිද්මයකට අනුවය. මැග්නර්, මෝසාට්, ගෝපැන්, චැස්කොව්ස්කි නිරතුරුවම ඔහුගේ මුවග රැුඳී තිබුණේය. රිචඞ් පාසල් ජීවිතයේදී කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කොට ඇති බවට සාක්ෂි හමු වේ. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය මඟින් ඉංගී‍්‍රසි සාහිත්‍යය සඳහා පිරිනමනු ලබන ත්‍යාග ති‍්‍රත්වයක් දිනා ගැනීමට සමත් වූ එකම ශිෂ්‍යයා බවටද පත්විය. විදුහල්පති ශාස්තී‍්‍රය ත්‍යාගය, පීරිස් සිරිවර්ධන රන් පදක්කම, අර්න්ඞ් ත්‍යාගය යන ති‍්‍රත්වය එයයි. එමෙන්ම ඔහු ශාන්ත තෝමස් විද්‍යාලයේ සාහිත්‍ය සඟරාවේ සංස්කාරකවරයාද විය. ඔහු පාසල තුළ සුවිශේෂී රංගධරයෙකු විය. අන්තර් පාඨශාලීය ෂේක්ස්පියර් නාට්‍ය තරගාවලියේ හොඳම නළුවාට හිමි සම්මානය දෙවරක් දිනාගැනීමට සමත් විය. ඒ 1973 සහ 1975 යන වර්ෂවලදීය. පාසලේ විවාද කණ්ඩායමේ නායකයා වූයේද රිචඞ්ය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදර්ශ පාර්ලිමේන්තුවේ කතානායකවරයා වූයේද රිචඞ්ය. එම පාර්ලිමේන්තුවේ නිදහස් සමාජවාදී පක්ෂයේ මන්තී‍්‍රවරයෙකු සහ ඇමතිවරයෙකු ලෙසින්ද ඔහු කටයුතු කොට ඇත. රිචඞ්ද සොයිසා යනු එක් වෘත්තියකට පමණක් සීමා වූ පුද්ගලයෙකු නොවීය. ඔහු සතුව බහුවිධ හැකියාවන් පැවැතිණි. එසේ ම ඔහු බහුවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කළ පුද්ගලයෙකි. පාසල් ජීවිතයෙන් සමුගත් ඔහු බි‍්‍රතාන්‍ය මණ්ඩලය සමග නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය කිහිපයකම රගපෑවේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ 1983දී තිරගත වූ ‘යුගාන්තය’ චිත‍්‍රපටයේ සහ 1987දී තිරගත වූ ‘සත්‍යග‍්‍රහණය’ සිනමා පටයේ රඟපෑවේය. යුගාන්තය චිත‍්‍රපටයේ මාලින්ගේ චරිතය මැනැවින් රඟ පෑ රිචඞ් පොදු ජනතාවගේ හඬ නියෝජනය කළේය. ඒ ඔහුගේ පළමු චිත‍්‍රපටය විය. මීට අමතරව ’යශෝරාවය’ ටෙලි නාට්‍යය තුළින් රිචඞ් සිය රංගන කුසලතාවයන් මැනැවින් ප‍්‍රදර්ශනය කළේය. මීට අමතරව රිචඞ් දක්ෂ කවියෙකු විය. ඔහු නිකම් ම නිකම් කවියෙකු නොවීය. රිචඞ් එඩිතර ජනතාවාදී කවියෙකි. ඔහු සිය කවිය හරහා ජන හදවත් අවදි කළේය. රිචඞ්ගේ භූමිකාව වඩාත් ප‍්‍රකට වන්නේ පුවත්පත් කලාවේදියෙකුගේ භූමිකාවෙනි. රිචඞ් ‘සන්ඬේ අයිලන්ඞ්’ පුවත්පතට ලිපි ලීවේය. ඔහුගේ ජනමාධ්‍ය භූමිකාව පුවත් පත් කලාවට පමණක් සීමා වූයේ නැත. ඔහු රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ දක්ෂ ඉංගී‍්‍රසි නිවේදකයෙකු විය. රිචඞ්ගේ ඉංශී‍්‍රසි උච්චාරණය ඉතා ගැඹුරුය. එසේ ම ඉතා ප‍්‍රශස්ත මට්ටමක ඉංගී‍්‍රසි දැනුමක් විය. ඒ නිසාම ඔහුට අන්තර් ජාතික කීර්තියක්ද හිමිවිය. ඒ හේතුවෙන් ඔහු අන්තර්ජාතික තලයේ මාධ්‍යවේදියෙකු විය. රෝමය මූලස්ථානය කොට ගත් ‘ඉන්ටර්ප්‍රෙස්’ ප‍්‍රවෘත්ති සේවයේ ශී‍්‍ර ලංකාවේ සහ ආසියානු කලාපයේ නියෝජිතයා ලෙසින්ද කටයුතු කළේ රිචඞ්ය. රිචඞ්ද සොයිසා සිය මාධ්‍ය භූමිකාව ගෙන ගියේ සාධාරණය හා සමාජ යහපත වෙනුවෙනි. 1988-1989 මර්දනකාරී වටපිටාව තුළදී පවා ඔහුගේ අභීත මාධ්‍යකරණය අත්හළේ නැත. ඔහු රට පුරා තොරතුරු සොයා ගියේය. ඒ වන විට මිනීමරු ගහලයන් ආණ්ඩුවට එරෙහි වන කවර පුද්ගලයෙකුට වුවද, සිය මර්දන හස්තය දිගුකොට පැවතියේය. එයට කිසි විටෙක යට නොවූ, බිය නොවූ රිචඞ් මාධ්‍යවේදියෙකුගේ ශ්‍රේෂ්ඨතම යුතුකම ඉටු කරමින් සිටියේය. එජාප ආණ්ඩුව මුදා හළ ම්ලේච්ඡු දරුණු රාජ්‍ය ත‍්‍රස්තවාදය විසින් කළ අත්අඩංගුවට ගැනීම්, පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම්, සහ මනුෂ්‍ය ඝාතන නිමක් නොවීය. තැන තැන තරුණ මළසිරුරු විය. ටයර් සෑයවල් මහ දවාලේ පවා දැක ගත හැකි විය. මේ කාලවකවානුවේදී බොහෝ මාධ්‍යවේදීන් අසීරු මාධ්‍යකරණයක යෙදී සිටියදී පවා රිචඞ් සිය යුතුකම කළේ මර්දනයට, භීෂණයට බියේ පලා නොයමිනි. ඔහු සිය සබඳතා උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් එවකට ආණ්ඩුවේ රාජ්‍ය ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් සහ මානව හිමිකම් කඩ වීම් සම්බන්ධ තොරතුරු එක්රැුස් කළේය. මිනීමරු පාලනය විසින් 1988 - 1989 වකවානුවේදී ඉතාමත් අමානුෂික හා අයුක්තිසහගත අයුරින් හැට දහසකට අධික පිරිසක් ඝාතනය කළේය. ඝාතනය කළා පමණක් නොව එය ජාත්‍යන්තරයට හෙළිදරවු වීම වැළැක්වීමට කටයුතු කරමින් සිටියේය. රිචඞ්ද සොයිසාගේ මාධ්‍ය මෙහෙවර හේතුවෙන් මේ සියලූ තත්ත්වයන් ජාත්‍යන්තරයට හෙළිදරවු වෙමින් පැවතියේය. මේ තත්ත්වය හේතුවෙන් එජාප පාලනය යම් තැතිගැන්මකට ලක්ව සිටියේය. ඔහු කිසි විටෙක හීලෑ කර ගත හැකි මාධ්‍යවේදියෙකු නොවන බවද පාලකයන් දැන සිටියේය. මේ වන විට රිචඞ් ‘ඉන්ටර්ප්‍රෙස්’ ප‍්‍රවෘත්ති සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබුණේය. ඒ අනුව ඔහුට 1990 පෙබරවාරි මස 26 හෝ 27 එහි වැඩ භාර ගැනීමට ලිස්බන් නගරය වෙත යා යුතුව තිබිණි. ඔහු එහි ගියේ නම්, 1988 - 1989 ලංකාවේ සිදු වූ ඝාතනයන් පිළිබඳවත්, මානව හිමිකම් කඩවීම් පිළිබඳවත් ඇත්ත ගැන ලෝකය දැනුම්වත් වීමේ ඉඩකඩ පැවතියේය. 1990 වසර වන විට රිචඞ් ‘මේ කවුද මොනවද කරන්නෙ’ යන නාට්‍යය රචනා කොට තිබිණි. මෙය රණසිංහ පේ‍්‍රමදාසගේ ඒකාධිපති වියරු පාලනය සම්බන්ධයෙන් නිර්මාණය වී තිබූ උපහාසාත්මක නාට්‍යයකි. මෙම නාට්‍යය මහජන ප‍්‍රදර්ශනයට සූදානම්ව තිබුණේ ද 1990 පෙබරවාරි මාසයේ මුල් සතියේය. මෙම නාට්‍යය ප‍්‍රදර්ශනය කිරීමට පෙර දිනයේ නාට්‍යයේ නිෂ්පාදකවරයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට ආණ්ඩුවේ ගහලයන් කටයුතු කොට තිබිණි. රිචඞ්ද සොයිසා නම් අප‍්‍රතිහත මිනිසා, මානව හිතවාදී මාධ්‍යවේදියා, ශ්‍රේෂ්ඨ කලාකරුවා, මානව හිමිකම් කි‍්‍රයාධරයා එජාප කුලී මිනීමරුවන් විසින් පැහැරගෙන ගොස් ඇත්තේ, ‘මේ කවුද මොනවද කරන්නෙ’ නාට්‍යයේ නිෂ්පාදකවරයා ඝාතනය කිරීමෙන් සති තුනකට පසුවය. මේ පිළිබඳව ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා විශේෂ හෙළිදරව්වක් කළේය. ඒ ඔහුට දින කිහිපයකට ලංකාවේ සුරක්ෂිතව නතර වීමට තැනක් රිචඞ් ලබා දීම සම්බන්ධවය. රිචඞ්ගේ විදේශගත මිතුරකුගේ කොළඹ පිහිටි නිවසක් ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට රිචඞ් පැහැර ගත් බවට තොරතුරු හෙළිදරවු වන බව අමරසිංහ මහතා හෙළි කර තිබුණේ අමරසිංහ මහතා මිය යාමට ආසන්න කාලයේය. රිචඞ් ද සොයිසා පැහැරගෙන ගොස් ඇත්තේ 1990 පෙබරවාරි මස 18 වැනිදා අලූයම 3.30ටය. ඒ සඳහා භාවිත කොට ඇත්තේ 32 ශී‍්‍ර 4748 දරන කොල පාට ජීප් රථයයි. ජීප් රියේ පැමිණ ඇත්තේ ඝාතන චෝදනා රැුසක් එල්ල වූ පොලිස් අධිකාරී රොනී ගුණසිංහ ඇතුළු ගහලයන් කණ්ඩායමකි. පැහැර ගැනීමෙන් පසු රිචඞ් ද සොයිසා නම් අසහාය මානව හිතවාදියා අනේකවිධ වධ බන්ධනයන්ට ලක් කර ඇත. එහෙත්, ගහලයන් බලාපොරොත්තු වූ කිසිවක් මේ අදීන මාධ්‍යවේදියාගෙන් ලබා ගත නොහැකි වී ඇත. ඔහුගේ හිසේ පිටුපසට හා උගුරට වෙඩි තබා ඝාතනය කර ඇත. ඉන්පසු කුලී මිනීමරුවන් රිචඞ්ගේ නිසල දේහය හෙලිකොප්ටරයකින් ගෙන ගොස් ඈත මුහුදට දමා ඇත. පසුව පෙබරවාරි 19 වෙනිදා මොරටුව කොරළවැල්ල මුහුදු වෙරළට ගොඩගසා තිබියදී ඔහුගේ සිරුර හමු විය. මේ ඝාතනය සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත විරෝධයක් එවකට ආණ්ඩුවට එල්ල විය. අද මානවහිතවාදය, සංහිඳියාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පිළිබඳව මහ ඉහළින් කතා කරන එජාප නායකයන්ගේ කෙරුවාව මේ සිදුවීම් හරහා ලොවටම හෙළිදරවු විය. දැන් එළැඹ ඇත්තේ රිචඞ්ලාට සාධාරණය ඉටු කළ යුතු මොහොතයි. මේ ගෞරවනීය සිහි කිරීම ඒ වෙනුවෙනි. වඩාත් සාධාරණ දේශයක්, යුක්තිගරුක පාලනයක් රට තුළ නිර්මාණය කර ගන්නා තුරු රිචඞ් ඇතුළු සාධාරණය, යුක්තිය වෙනුවෙන් අයුක්තිසහගත මරණයන් උරුම වූ මිනිසුන්ට සාධාරණය ඉටු නොවේ. රිචඞ්ලාට සාධාරණය ඉටු කළ හැක්කේ යුක්තිගරුක පාලනයක් වෙත සමාජය පරිවර්තනය කිරීමෙන් පමණකි. පමණක්මය. .