මේ මොහොත වෛද්‍යවරුන් බිහි කිරීම පිළිබද මතවාද දෙකක් දෝලනය වෙමින් පවතින මොහොතක්. සමාජයකට වෛද්‍යවරයෙකුගේ සේවය ව්‍යාප්ත විය යුත්තේ කෙසේද යන පැනයට වෛද්‍යවරයෙකු ලෙස ඔබේ පිළිතුර මොකක්ද? මිනිසෙක් උපත ලැබුවාට පස්සෙ මානසික සමාජීය සුවතාවයකින් පූර්ණ ආයු කාලයක් ජීවත් වීමේ ජෛව විද්‍යාත්මක විභවයක් තිබෙනවා. ඒක සෑම මනුෂ්‍ය ජීවියෙකුටම අදාළයි. නමුත් ඒ විභවය ජීවත් වන පරිසරය අනුව වෙනස් වෙනවා. අපි දන්නවා සෞඛ්‍ය විද්‍යාව සහ ඊට අදාළ අනෙකුත් විෂය ක්ෂේත‍්‍රයන් ලෝකය පුරා විකාශය වෙලා වර්ධනය වෙනවා. ජෛව විද්‍යාත්මක විභවය යථාර්ථයක් කර ගන්න මිනිස් වර්ගයාගේ උත්සාහය තුළින් තමයි දැනුම නිපදවෙන්නේ. ඒ දැනුම සෞඛ්‍ය විද්‍යාත්මක දැනුමක් විදියට වැඩිදියුණු වෙනවා. ඊට පස්සෙ අපි ඒවා ඉගෙන ගන්නවා. පසුව ඒ දැනුම ඉදිරි පරම්පරාවන්ට සම්පේ‍්‍රෂණය වෙනවා. ඒ දැනුම් පද්ධතියේ නියම අයිතිකාරයො තමයි පොදු ජනතාව. ඔවුන්ට වඩාත් නිවැරදිව ඒ දැනුම ඵලදායීව ලබා දීම ස`දහා විශේෂ විදියට පුහුණු කරපු පුද්ගලයෙක් තමයි වෛද්‍යවරයා කියල කියන්නේ. ඒ අනුව ශිෂ්ට සමාජයට වෛද්‍යවරයෙක් පත්කිරීම සදහා පුහුණුව ලබා දෙන්නෙ කොහොමද? ඒ පුහුණුවේ ස්වභාවය කොහොමද කියන කාරණා සියල්ලම පොදු ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් තමයි තීරණය කරන්නෙ. එතකොට ශිෂ්ට සමාජවල වෛද්‍ය විද්‍යාල බිහි වෙන්නෙ, ඒවාට අදාළ පුද්ගලයන් තෝරා ගන්නෙ, ඉගැන්වීමේ පටිපාටිය සකස් වෙන්නෙ පොදු සමාජය පිළිගන්නා විනිවිද පෙනෙන ආකාරයට. නමුත්, සයිටම් වගේ ආයතනයක් ශිෂ්ට සමාජය පිළිගන්නා  වූ විනිවිද පෙනෙන ආකාරයකට නෙමෙයි වෛද්‍ය අධ්‍යාපනය ස`දහා පුද්ගලයො තෝරා ගන්නේ. සයිටම් ආයතනයේ සමස්ත ක‍්‍රියාකලාපය ගැන විශ්වාසයක් තැබිය නොහැකියි කියන කාරණයද ඔබ මතු කරන්නේ? යම් රටක පුද්ගලයන් සෞඛ්‍යසම්පන්නද කියලා තීරණය වෙන්නෙ ඒ පුද්ගලයා ජීවත් වන රටේ සෞඛ්‍ය පද්ධතිය ක‍්‍රියාත්මක වන්නේ කොහොම ද කියන ආකාරය මත. සෞඛ්‍ය පද්ධතියක අරමුණ තමයි උපරිම කායික මානසික සෞඛ්‍ය මට්ටමක් සමාජ ආර්ථික භේදයකින් තොරව සැමට සාධාරණ අයුරින් ලබාදීම. සෞඛ්‍ය පද්ධතියක් තුළින් පොදු ජනතාව අපේක්ෂා කරන සාධාරණ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕනෑ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන ආකාරයට සෞඛ්‍ය ගැටලූ හේතුවෙන් ඇති වෙන්න පුළුවන් මූල්‍යමය අවහිරතා අවම කරන්න ඕනෙ. එතකොට අපිට මෙතැනදී බලන්න වෙනවා සයිටම් ආයතනය මඟින් සෞඛ්‍ය පද්ධතියේ කාර්යයට කොතරම් දුරට බලපෑමක් එල්ල කරනවාද කියන එක. ඒ නිසා ජනතාවගේ සෞඛ්‍යය උසස් අන්දමින් පවත්වා ගැනීමේ අභිලාෂයෙන් තොරව ව්‍යාපාරික අරමුණකින් යම් සුළු පිරිසකගේ අභිලාෂයන් ඉෂ්ට කිරීම තමයි සයිටම් ආයතනය හරහා කෙරෙන්නේ. ඒ නිසා මම වෛද්‍යවරයෙක් විදියට වගකීමෙන් ප‍්‍රකාශ කරනවා සයිටම් ආයතනය කියල කියන්නෙ රටේ ජනතාවගේ සෞඛ්‍යය බි`ද හෙළන සෞඛ්‍යය කෙරෙහි ඉතාමත් අයහපත් ආකාරයෙන් බලපාන ව්‍යාපෘතියක්. පසුගියදා සයිටම් ආයතනය ලියාපදිංචි කරන්න කියලා අභියාචනාධිකරණය විසින් නඩු තීන්දුවක් ලබා දුන්නා. ඒ නඩු තීන්දුව ගැන ඔබේ අදහස? සයිටම් ආයතනයේ ශිෂ්‍යාවක් තමන්ට තාවකාලික ලියාපදිංචිය ලබා දෙන ලෙස ඉල්ලමින් නඩුවක් ගොනු කරනවා. මෙහිදී අභියාචනාධිකරණය විසින් වෛද්‍ය සභාවට තමන්ගේ නිර්දේශ නොතකා හැරලා අදාළ ශිෂ්‍යාව වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්න කියලා නියෝග කරනවා. නමුත්, වෛද්‍ය සභාව දෙදහස් පහළොවේ සැප්තැම්බර් හතර වෙනිදා මහාචාර්යවරුන් දස දෙනෙකුගෙන් සමන්විත වාර්තාවක් මඟින් සයිටම් ආයතනයේ ශිෂ්‍යයන්ගේ සායනික ක‍්‍රියාකාරීත්වයේ දුබලකම අධිකරණයට පෙන්වා දෙනවා. ඒ වගේම ප‍්‍රජා වෛද්‍ය විද්‍යාව, අධිකරණ වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත‍්‍රවල තිබෙන න්‍යායික හා ප‍්‍රායෝගික දුබලකම් සහ සමස්තයක් වශයෙන් ගත්තාම මුළු පාඨමාලාවේම තිබෙන අඩුපාඩුකම් නිසා වෛද්‍යවරයෙකු ලෙස ක‍්‍රියා කිරීමේ හැකියාවක් ඔවුන්ට නැහැ කියලා වෛද්‍ය සභාව පෙන්වා දෙනවා. වෛද්‍ය ආඥා පනතේ පැවරිලා තිබෙන බලතල අනුව තමයි වෛද්‍ය සභාව එම නිර්දේශය කළේ. නමුත් අභියාචනාධිකරණය මෙතැනදී වෛද්‍ය සභාව විසින් කරපු නිර්දේශයන්ට බලාත්මක භාවයක් නැහැ කියලා තීරණය කළා. මොකද? වෛද්‍ය ආඥා පනත අර්ථ නිරූපණයන්ට අනුකූලව අදාළ ඇමතිවරයා වෛද්‍ය සභාව මඟින් කරන නිර්දේශය අනුමත කළ යුතුයි. නමුත් මේ ප‍්‍රශ්නයේදී සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍ය සභාවේ නිර්දේශ අනුමත කරන්නෙ නැහැ. ඒ නිසා එහි නීතිමය වලංගුතාවයක් නැහැ කියල අධිකරණය ස`දහන් කරනවා. මෙතැනදී වෛද්‍ය සභාවට තමන්ගේ නිර්දේශ මත පදනම්ව සයිටම් ශිෂ්‍යාව ලියාපදිංචි නොකර සිටින්න බැහැ කියල අධිකරණය තීන්දු කරනවා. නමුත් විශේෂයෙන්ම කිව යුතුයි මේ නඩුවෙදි වෛද්‍ය සභාව හැර අනෙකුත් සියලූම රජයේ ආයතන අධිකරණයේදී කරුණු දැක්වූයේ සයිටම් ආයතනයට වාසි වන ලෙස. ඒ නිසා තමයි මෙවැනි තීන්දුවක් ලැබිලා තිබෙන්නේ. ඒ කියන්නෙ මේ නඩු තීන්දුව ගැටලූ සහගතයි? වෛද්‍ය ආඥා පනත පදානුගත රීතීන් අර්ථ නිරූපනය කිරීම නිසා අදාළ ආඥා පනත පැනවීමේ අභිප‍්‍රාය අධිකරණය විසින් නොසලකා හැරලා තිබෙනවා. එය ඉතාම බරපතළ නොසලකා හැරීමක්. මොකද වෛද්‍ය ආඥා පනතේ ප‍්‍රධාන පරමාර්ථය වෙන්නෙ රෝගීන් ආරක්ෂා කිරීම. නමුත් අධිකරණය එම මුඛ්‍ය පරමාර්ථය ව්‍යවස්ථාදායකය විසින් වළක්වන්න හදපු අනර්ථය ගැන සැලකිල්ලක් යොමු කරලා නැහැ. ඒ නිසා අධිකරණය මේ ප‍්‍රශ්නය ගැන ලබා දීලා තිබෙන තීන්දුව ව්‍යවස්ථාදායකයේ අභිප‍්‍රාය නොසලකා, රෝගීන්ගේ ආරක්ෂාව නොසලකා ලබා දුන් තීන්දුවක් හැටියට තමයි මම දකින්නේ. අභියාචනාධිකරණ නඩු තීන්දුව පිළි ගන්නෙ නැහැ කියන්නෙ වෙනත් නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගත යුතුයි කියන එක නේද? අභියාචනාධිකරණ තීන්දුවක් ලබා දීලා තිබෙනවා. නමුත්, අභියාචනාධිකරණය කියන්නෙ අපේ රටේ උසස්ම අධිකරණය නෙමෙයි. උසස්ම අධිකරණය වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ නිසා වෛද්‍ය සභාව තීරණය කරලා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ සම්බන්ධව අභියාචනයක් ඉදිරිපත් කරන්න. ඒ නිසා මේ අධිකරණ තීන්දුව වෛද්‍ය සභාව පිළිගත යුතු නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලබන තීන්දුව කුමක්ද කියල අපිට බලන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් සෑහීමකට පත්වෙන්නත් බැරිනම් අපිට ජාත්‍යන්තර අධිකරණයක් දක්වා යන්න පුළුවන්. යම් කිසි නීතියක් අසාධාරණ නම් ඒ නීතිය මඟින් අනර්ථයක් වෙනවා නම් ස්වාභාවික යුක්තිය අනුව අදාළ නීතිය නොපිළිගෙන ඉන්න අපට පුළුවන්. ඒ නිසා අධිකරණ තීන්දු පිළිගැනීමට වෛද්‍ය සභාව බැ`දිලා නැහැ. මේ තත්ත්වයන් තුළ ආණ්ඩුවේ ඇමැතිවරුන්ගෙන් වෛද්‍ය සභාවට විවිධාකාරයේ බලපෑම් එල්ල වෙමින් තිබෙනවා නේද? වෛද්‍ය සභාවට බලපෑම් එල්ල වුණු පළමුවෙනි අවස්ථාව මේක නෙමෙයි. එස්. බී. දිසානායක ඇමතිවරයා දෙදහස් එකොළහේ අගෝස්තු තිස් වෙනිදා සයිටම් ආයතනයට උපාධි ප‍්‍රදානය කරන ගැසට් පත‍්‍රය නිකුත් කරනවා. වෛද්‍ය සභාව ඒකට විරෝධය දැක්වූවා. එතැන දී එස්. බී. ඇමතිවරයා ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට විරුද්ධ නම් වෛද්‍ය සභාව විසුරුවා හරිනවා කියලා තර්ජනාත්මකව කතා කළා. මීට අමතරව පසුගිය කාලෙ ඉතා බරපතළ සිද්ධීන් ගණනාවකට වෛද්‍ය සභාවට මුහුණ දෙන්න සිද්ධ වුණා. වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය නෝනිස් මහතාට පහර දුන්නා. එහි සාමාජික වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාට පහර දුන්නා. එහි හිටපු සභාපතිනි ලලිතා මෙන්ඩිස් මහත්මියට අස් වෙලා යන්න සිදු වුණා. අවස්ථා ගණනාවකදී විවිධ දේශපාලන අඩන්තේට්ටම්වලට වෛද්‍ය සභාව සහ වෛද්‍ය සභාවේ සාමාජිකයො ලක් වුණා. වෛද්‍ය සභාවේ කාර්යභාරය කෙසේ විය යුතුයි කියල ද වෛද්‍යවරයෙක් විදියට ඔබ හිතන්නේ? වෛද්‍ය සභාව තමයි එක්දහස් නවසිය විසි හතරේ වෛද්‍ය ආඥා පනත මගින් සමන්විත ව්‍යස්ථාපිත ආයතනය. මේ ආයතනයේ අරමුණ වෙන්නෙ රෝගීන් ආරක්ෂා කිරීම. අපි දන්නවා වෛද්‍යවරයෙකු ගාවට එන රෝගියෙකුට හැකියාවක් නැහැ ඒ වෛද්‍යවරයාගේ සුදුසුකම් මොනවද කියල විමසන්න. රෝගියා වෙනුවෙන් එම වගකීම ගන්නෙ වෛද්‍ය සභාව. වෛද්‍ය ආඥා පනතේ අරමුණ වෙන්නෙ රෝගීන් ආරක්ෂා කිරීම. වෛද්‍ය ආඥා පනත පැනවීමේ අර්ථය තමයි සුදුසුකම් නොමැති වෛද්‍යවරුන්ගෙන් රෝගීන් ආරක්ෂා කිරීම. ඒ අනුව වෛද්‍ය සභාව කියන්නෙ වෘත්තිකයන් නියාමනය කරන ආයතනයක්. මේ වෙනකම් වෛද්‍ය සභාව ඒ වෙනුවෙන් කැප වෙලා තමන්ගෙ කැපවීම පෙන්නුම් කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරියෙදිත් එහෙම වෙයි කියලා. සයිටම් පිටුපස තිබෙන්නෙ ධන බලයද? එසේත් නැත්නම් ඊට පරිබාහිර දෙයක්ද? සයිටම් එක නෙවිල් ප‍්‍රනාන්දුගෙ ව්‍යාපාරය වුණාට ආණ්ඩුවේ වුවමනාව තමයි ඔහු නියෝජනය කරන්නේ. ආණ්ඩුව මේ වෙද්දි අධ්‍යාපනය, වරාය ඇතුළු මුළු රටම විකුණමින් යන ගමනක් තමයි තිබෙන්නේ. ඉදිරියේදී ඉන්දියාවේ මනිපාල් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ශාඛා රාශියක් ලංකාවට එන්න නියමිතයි. ඒ ස`දහා කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ආකාරයේ ප‍්‍රතිපත්තිමය වශයෙන් යන ව්‍යාපෘතියක් තමයි මෙතැන තිබෙන්නේ. නෙවිල් ප‍්‍රනාන්දු කියන්නෙ එහි එක් ව්‍යාපාරිකයෙක් පමණයි. ඒ ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන දේශපාලන බලය ආණ්ඩුව විසින් සපයමින් තිබෙනවා. සයිටම් හරහා ආණ්ඩුව මුට්ටිය දාලා බලනවා. නමුත් මේක පිටිපස්සෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු සමස්ත පෞද්ගලිකකරණයක් පැමිණෙමින් තිබෙනවා. සයිටම් නීතිගත වුණොත්, ඒ හරහා ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් විදියට ඔබේ විග‍්‍රහය? අපේ රටේ සෞඛ්‍යමය තත්ත්වය අනිවාර්යයෙන්ම කණපිට හැරෙනවා. අපේ රටේ හැම පෞද්ගලික රෝහලකම සෑම මූලික රෝහලකම වෛද්‍ය උපාධි, හෙද උපාධි, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සියලූම උපාධි කඩ බවට පත්වෙනවා. සෑම වෘත්තියක්ම මුදල් මත තීරණය වෙන ක‍්‍රමයක් තමයි අනිවාර්යයෙන්ම ඇති වෙන්නේ. ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය සමස්තයක් විදියට කඩාකප්පල් වෙනවා. ජනතාවට කිසිදු විශ්වාසයකින් තොරව තමයි සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් ප‍්‍රතිකාර ලබා ගන්න වෙන්නේ. ඒ නිසා ජන ජීවිත අන්ත අසරණ තත්ත්වයකට පත්වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේක පරාජය කළ යුතුයි. මේක විස`දන්න නම්, සයිටම් ප‍්‍රශ්නය ආණ්ඩුවේ දේශපාලන පැවැත්ම තීරණය කරන සාධකයක් බවට පත් කරන්න ඕනේ. ඒකට ශිෂ්‍ය ව්‍යාපාරය, කම්කරු ව්‍යාපාරය ඇතුළු සියල්ල එකට ඒකාබද්ධ වෙලා පොදු වේදිකාවක් තැනිය යුතු වෙනවා..