ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැඳුම්කර මඟින් ණය ගැනීමේ කි‍්‍රයාවලියට සම්බන්ධ තීරණාත්මක ලේඛනවලට වර්තමාන මුදල් අමාත්‍ය රවී කරුණානායක යටතේ හොර අත්සන් යොදා ඇති බව අනාවරණය වී ඇත. බැඳුම්කර නිකුත් කිරීමේ දී සිදුව තිබෙන වංචා පිළිබඳ චෝදනා විමර්ශනය කරන ති‍්‍රපුද්ගල ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග ලබා දී තිබෙන ප‍්‍රකාශයකින් මේ බව හෙළි වේ. පසුගිය 27 වැනි දින එම කොමිෂන් සභාව හමුවේ මුදල් අමාත්‍යාංශ ලේකම් සාක්ෂි දීමේදී මෙය හෙළි කර තිබිණි. බැඳුම්කර නිකුත් කිරීමට අදාළව 2015 පෙබරවාරි මස 15 වැනි නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් පළ කරන පුවත් පත් දැන්වීමකට ව්‍යාජ අත්සනක් යොදා තිබේ. අදාළ පුවත්පත් නිවේදනයට මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ අත්සන වෙනුවට මුදල් ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් සිසිර විජේසිංහ මහතා විසින් අත්සන් තබා ඇත. මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා වශයෙන් දක්වමින්, 2016 දෙසැම්බර් මස 24 වැනි දින නිකුත් කර තිබෙන ගැසට් පත‍්‍රයක පිටපත් 17ක් වැනි සීමිත ප‍්‍රමාණයක් රජයේ මුද්‍රණාලයෙන් නිකුත් කිරීමේ ආන්දෝලනයක් පැවති අතර, මෙම ව්‍යාජ අත්සන් යෙදීම හෙළි වී තිබේ. මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමතිගේ අත්සන හොරට යොදා ගත් බව ඔප්පු කරන ලෙස රවී කරුණානායක විසින් අභියෝග කර තිබෙන පසුබිමක ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අයෙකු විසින් මෙම හොර අත්සන් යොදා තිබීම ගැන හෙළි වී තිබේ. මහින්ද රාජපක්ෂ මුදල් ඇමති බව සඳහන් කරමින්, එම අත්සන යොදා මෙලෙස ගැසට් පත‍්‍ර නිකුත් කිරීම නිසා ගැසට් නිවේදනවල වලංගුභාවය බරපතල ගැටලූසහගත තත්ත්වයකට පත්ව තිබෙන බව ද වැඩ බලන මුද්‍රණාලයාධිපතිනිය කොමිසම හමුවේ පිළිගෙන තිබේ. .