අවුරුදු තුනක පමණ කාලයක සිට ලංකාව තුළ කි‍්‍රයාත්මක වන එන්.ජී. ඕ. ආයතනයක් වන ‘රූම් ටු රීඞ්’ (room to read) නම් සංවිධානය මෙරට ප‍්‍රාථමික අධ්‍යාපනය නියාමනය කිරීමේ කාර්යයට මැදිහත් වෙමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. මේ වන විට උතුරුමැද පළාතේ අධ්‍යාපන කලාප කිහිපයක ප‍්‍රාථමික පාසල්වල ගුරුවරුන් තෝරාගෙන පූර්ණ දින හතරක පුහුණු වීම් කර අති මෙම සංවිධානය අදාළ පාසලේ විදුහල්පතිවරයාට ද එක් දින පුහුණුවක් ලබාදී තිබේ. මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට පෙර අදාළ පාසල් තෝරා ගැනීම 2016දී සිදු කරනු ලැබූ අතර, එහි දී තෝරා ගත් පාසල්වලට පුස්තකාල ගොඩනැඟිල්ලක් ඉදි කර ඊට අවශ්‍ය උපකරණ 1-5 ශ්‍රේණි සඳහා උචිත කියවීම් පොත් ලබා දෙන බවට විදුහල්පතිවරුන්ට පොරොන්දු වී තිබේ. අනතුරුව පුස්තකාල පහසුකම් සැපයීමේ කටයුත්ත දෙවැනි කර 1 ශ්‍රේණියේ සිංහල භාෂාව ඉගැන්වීමේ කාර්යයට මේ වන විට එම සංවිධානය මැදිහත් වෙමින් සිටියි. එහිදී රජය විසින් ලබා දී ඇති පෙළ පොත් හා ගුරු මාර්ගෝපදේශය බැහැර කර අදාළ ආයතනය මඟින් ලබා දෙන ගුරු මාර්ගෝපදේශයට අනුව කටයුතු කිරීමට අදාළ පුහුණුව ලැබූ ගුරුවරුන්ට උපදෙස් ලබා දී තිබෙන අතර, ඒ සඳහා කලාප අධ්‍යාපන බලධාරීන්ගේ ද අනුමැතිය ලබා දී තිබේ. ගුරුවරුන් පුහුණු කිරීම, අධ්‍යාපනයට අදාළ ප‍්‍රතිපත්ති හා විෂය සැලසුම්ගත කිරීම සහ ගුරුවරුන්ට අදාළ මඟපෙන්වීම ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, විෂයමාලා සංවර්ධන ඒකකය හා ජාතික අධ්‍යාපන ආයතනය යන ආයතනයන්හි කාර්යයක් වුවත්, ආණ්ඩුව එම වගකීමෙන් මඟහරිමින් සිටින බවට පැහැදිලි වන බව මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කර සිටින ගුරුවරු සහ දෙමව්පියෝ ප‍්‍රකාශ කර සිටිති. අදාළ එන්.ජී. ඕ. ආයතනය මඟින් දෙන පුහුණුවට අනුව ඉගැන්වීමේ දී ගුරුවරයා හා සිසුවා යන දෙදෙනාම අධික පීඩනයකට ලක් වන බව පවසන ගුරු භවතුන් අධ්‍යාපනය ලබා දීමේ දී සරල බවේ සිට සංකීර්ණ බව දක්වා ක‍්‍රමයෙන් ගමන් කිරීමේ අනුපිළිවෙළ මෙම ඉගැන්වීම් ක‍්‍රමයේ දී බිඳවැටෙන බවත්, අධ්‍යාපනය ලබා දීම පිළිබඳව වන සියලූ මූලධර්මයන් අදාළ එන්.ජී. ඕ.ව මඟින් ලබා දෙන පුහුණුවේ දී බිඳ දමාගෙන යන බව ද තතු දත් ගුරුවරු අනාවරණය කරති. මෙම අධ්‍යාපන ක‍්‍රමය දියුණු රටවල භාවිතයට ගැනීමට පෙර අප වැනි පසුගාමී නායකත්වයක් සහිත රටවල දී අත්හදා බැලීම් කිරීම වෙනුවෙන් ගුරුවරුන් හා දරුවන් යොදා ගනිමින් කෙරෙන පර්යේෂණයක් ද යන්න පිළිබඳව සැක පහළ වී ඇතැයි ද එම ගුරුවරුන් වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියි. .