ඉරුදින පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න මහතා නීති විරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාතික මාධ්‍ය සංසදය සිය විරෝධය පළ කර සිටියි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසා සිටින්නේ ඒ මහතා සේවයෙන් ඉවත් කිරීම සාධාරණ හේතු දැක්වීමකින් හෝ විමර්ශනයකින් තොරව සිදු කර ඇති බවයි. ඒ නිසා ඔහු සේවයෙන් ඉවත් කිරීම නීති විරෝධී මෙන්ම අයුක්ති සහගත බවද පෙන්වා දෙන ජාතික මාධ්‍ය සංසදය සිය මාධ්‍ය නිවේදනයෙන් වැඩි දුරටත් මෙසේද පවසයි. ‘‘ලීඩර් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම ආයතනයේ සේවකයන්ට හිමි විය යුතු ජනවාරි මාසයේ වැටුප පවා සම්පූර්ණයෙන් ගෙවා නොමැති බවද සේවය කළ කාලයට අදාළව සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් වාරික ගෙවා නැති බවද වාර්තා වන බැවින් එම සමාගම බරපතල ලෙස කම්කරු නීති උල්ලංඝනය කරන බව පැහැදිලිව පෙනේ. තම සේවකයන්ගේ අවම අයිතීන් පවා ලබා නොදෙන මෙවැනි සමාගම්වලට සමාජ වගකීමක් සහිත පුවත්පත් කර්මාන්තයේ යෙදිය හැකිද යන්න ගැටළුවකි. ජනමාධ්‍ය හිමිකාරී සමාගම් විසින් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළ ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. බොහෝ මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන්ට මාධ්‍ය සංවිධානවලට සම්බන්ධවීමට පවා අවසර ලබා දෙන්නේ නැත. සමාජයේ පොදු යහපත, සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් සහ අනෙකුත් මාධ්‍ය සේවකයන් මුහුණදෙන මෙම වෘත්තීය ගැටළු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡුා කිරීමටත් ඔවුන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනීසිටීමටත් ජාතික මාධ්‍ය සංසදය කටයුතු කර ඇත’’ එසේම විමලනාත් වීරරත්න මහතා සේවයෙන් ඉවත් කිරීමට එරෙහිව එහි මාධ්‍යවේදීන් විරෝධය පළකිරීම හේතුවෙන් ඒ සඳහා සම්බන්ධ වූ මාධ්‍යවේදීන්ටද ඉරුදින පුවත්පත් කාර්යාලය තහනම් කලාපයක් බවට පත්කර ඇත. මේ සම්බන්ධයෙන් එම මාධ්‍යවේදීන් විසින් CIB/111/213/17 අංකය යටතේ ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබේ. මෙලෙස මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් මුහුණදෙන මෙම වෘත්තීය ගැටළු හා පොදු අභියෝගවලට මුහුණදීම සඳහා තමන් හා එක් වන ලෙස ඉල්ලා සිටින ජාතික මාධ්‍ය සංසදය විමලනාත් වීරරත්න මහතා වහාම යළි සේවයේ පිහිටුවන ලෙසත් සේවක මර්දනය වහාම නවතන ලෙසත් ලීඩර් හෝල්ඩිංග්ස් සමාගමට බල කර සිටින බව සිය මාධ්‍ය නිවේදනයේ දක්වා තිබේ. .