මාලඹේ නීති විරෝධී සයිටම් වෛද්‍ය උපාධි ආයතනයට පාතාල ලෝකයේ දැඩි සහයෝගයක් ලබාගෙන තිබෙන බවට කරුණු ගණනාවක් අනාවරණය වෙමින් තිබේ. මෙම ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී බව කියා ගන්නා සමීර සේනාරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත් වූ පොලිස් පරීක්ෂණ අතරතුර දී මෙම ආයතනය සහ පාතාල සම්බන්ධකම් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. මෙම ආයතනය ආරම්භ කළ අවධියේ ප‍්‍රසිද්ධ කරන ලද පුවත්පත් දැන්වීම් අනුව රුසියාවේ නිෂ්නිනොව්ගොරොද් විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ බවට පළ කර තිබූ දැන්වීම ජනතාව නොමඟ යවන බොරුවක් බව හෙළි වී තිබිණි. එම ආයතනයේ අධ්‍යාපනය ලැබීමට ඇතුළත් කළ ශිෂ්‍යයකුගේ මාපියන් එම ව්‍යාජයට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පවරා තිබිණි. මෙයින් කෝපයට පත් වූ සමීර සේනාරත්න විසින් මෙහෙයැවූ කල්ලියක් එම මාපියන්ට තර්ජනය කර පසුව ඔවුන්ගේ නිවසට පැන අදාළ ලිපිගොනු සියල්ල පැහැරගෙන ගොස් තිබිණි. එම මාපියන් පැවරූ නඩුවේ විභාගය මේ වන විට ද සිදු කෙරෙමින් පවතී. ඒ අතරතුර සමීර සේනාරත්න නමැත්තාට වෙඩි තැබී යැයි කරන ලද පැමිණිල්ල පිළිබඳ පැවැත් වූ පොලිස් පරීක්ෂණවලදී ද සමීර නැමැත්තා සහ පාතාලයේ සාමාජිකයන් අතර සම්බන්ධකම් සොයාගෙන තිබේ. වෙඩි තැබීම සම්බන්ධයෙන් ප‍්‍රධානම සැකකරු බවට හඳුනාගෙන සිටින හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකු ද පාතාලයට දැඩි සම්බන්ධකම් දක්වමින් සිටින්නකුය. පරීක්ෂණ අවසානයේ මෙම දේශපාලන හා පාතාල සම්බන්ධය හෙළි වීමත් සමඟ අදාළ ප‍්‍රාදේශීය දේශපාලනඥයා අතුරුදහන් වී ඇත. මේ අතර සමීර සේනාරත්න වෛද්‍යවරයකු වශයෙන් පෙනී සිටිය ද, ඔහු වෛද්‍යවරයකු නොවන බව තහවුරු වී ඇත. ඔහුට වෙඩි තැබුවේ යැයි කියන දින ඊට මඳ වේලාවකට පෙර ප‍්‍රධාන සැකකාර පාතාලය හා සම්බන්ධකම් තිබෙන ප‍්‍රාදේශීය දේශපාලකයා සමඟ දුරකථන සංවාද කීපයක් පවත්වා ඇති බව පොලිසිය සොයාගෙන තිබේ. .