හම්බන්තොට වරාය ‘චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්’ නම් සමාගමට විකුණා දැමීමේ පූර්ව සැලැසුම්වල දී ලේකම්වරුන්ගේ කමිටුව වරාය හා නාවික ඇමතිවරයාගේ ලිඛිත උපදෙස් පවා නොතකා හැර කටයුතු කිරීමෙන් බරපතල අලාභ රැසක් සිදු වී තිබෙන බව අනාවරණය වේ. ලේකම්වරුන්ගේ කමිටුවට වරාය අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ ලේකම් යන නිලධාරීහු අයත් වෙති. මෙයට අමතරව අදාළ සාකච්ඡුා සඳහා අගමැතිවරයාගේ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, ආර්. පාස්කරලිංගම් ද සහභාගී වී තිබීම විශේෂිත ය. වරාය විකිණීමේ මිල ගණන් ඇමෙරිකන් ඩොලර් කෝටි 112ක් දක්වා ඉහළ නැංවීමේ හැකියාව තිබිය දී ඩොලර් 108කට විකිණීමට සූදානම් වීම, කල්බදු ගිවිසුම වසර 15කට පසු සෑම වසර පහකට වරක් සංශෝධනය කිරීම, මූලික ගිවිසුම වසර 99කට පසු යළිත් වසර 99ක් දක්වා දීර්ඝ නොකර සිටීම සහ හම්බන්තොට වරායේ සිට කිලෝ මීටර් 200ක් අවට ප‍්‍රදේශ ශී‍්‍ර ලංකා රජයට හෝ ඒ යටතේ පෞද්ගලික සමාගමකට හෝ සංවර්ධනය කළ නොහැකි ය යන කොන්දේසිය පනවා තිබීම ආදිය ලංකාවට වාසිදායක ලෙස සංශෝධනය කර ගත හැකිව තිබූ බව හෙළි වේ. ගිවිසුම පිළිබඳ අවසාන සාකච්ඡුාව ශී‍්‍ර ලංකා වරාය සංවර්ධන අධිකාරිය සහ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම අතර පැවැත්විය යුතුව තිබූ බවත්, නමුත්, එය මඟහැර ලේකම්වරුන්ගේ කමිටුව අතට ගෙන ඇති බවත් හෙළි වේ. මෙම තත්ත්වයන්ට විරෝධය පළ කරමින්, ඇමතිවරයා ලේකම් කමිටුවට, අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබේ. .