නීතියේ කි‍්‍රයාකාරීත්වයත්, නීතියේ රැකවරණයත් සැමට සමාන සහ සාධාරණ විය යුතු බව ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇත. ඒ අනුව නීතියේ කි‍්‍රයාකාරීත්වය බලාපොරොත්තු වීම මෙන්ම පවතින නීතිය යටතේ යුක්තිය පසිඳලීමද මෙරට සෑම පුරවැසියකුට ම සමානව හා සාධාරණව සිදු විය යුතුය. මේ වන විට ලංකාවේ උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ ඊට අනුකූලව සකස් කරන ලද අණපනත් සහිත නීති පද්ධතියක් රට තුළ කි‍්‍රයාත්මක වෙයි. මේ නීතිරීති උල්ලංඝනය කරන්නන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවක් කි‍්‍රයාත්මක වන අතර, අධිකරණය හමුවේ නීතිය උල්ලංඝනය කරනු ලැබේ යයි තීරණය කළවුන් බන්ධනාගාරගත කරනු ලැබේ. ඒ අනුව ඔවුන් බන්ධනාගාරයේ සිරකරුවන් බවට පත් වේ. මේ කියන්නට යන සිදුවීමට අදාළ පුද්ගලයන් සිටින්නේද බන්ධනාගාරයේම වුවත්, ඒ සිරකරුවන් වශයෙන් නොවේ. නීතියේ රැුකවරණය අවශ්‍ය වූවන් බන්ධනාගාරයේ සේවකයන් වශයෙන් සිටින විට නීතිය කළවුන් බන්ධනාගාර පාලනාධිකාරියේ සිටීම මෙහි ඇති විශේෂත්වයයි. මේ කියන අසාධාරණය සිදු වී ඇත්තේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඖෂධ සංයෝජකයන් වශයෙන් සේවය කරන සේවකයන්ටය. මෙම ඖෂධ සංයෝජක නිලධාරීන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු දා සිට විශ‍්‍රාම යන තෙක්ම සේවයේ යෙදීමට සිදු වී ඇත්තේ, කිසිදු උසස් වීමක් නොමැතිවය. ඇති වී තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව 2006 ජුනි මස 29වැනි දින ස්වදේශ කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව මේ පිළිබඳව දැනුම්වත් කරනු ලැබ ඇත. එහි සඳහන් වන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ස්ථිර ඖෂධ සංයෝජක තනතුර සඳහා ‘එම්.ටී. 2-2006’ වැටුප් ඛණ්ඩය නිර්දේශ කරනු ලැබූයේ එම සුදුසුකම මතම සෞඛ්‍ය අමාත්‍යාංශයට බඳවාගෙන පත්වීම් දී ඇති වැටුප් පරිමාණය සැලැකිල්ලට ගනිමින් බවයි. මෙම දෙකොටසම එකම කාර්යයක් ඉටු කරන අතර, සමාන සුදුසුකම් මත බඳවා ගනු ලැබ ඇත. එසේම මෙම සියල්ලන්ටම පුහුණුව ලබා දී ඇත්තේද, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්මය. ඒ නිසා මෙම කාණ්ඩ දෙකට වැටුප් ක‍්‍රම දෙකක් තිබීම එකම රාජ්‍ය සේවයක් තුළ සිදු නොවිය යුත්තක් ලෙස හඳුන්වන ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සංයෝජකයන්ටද, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඖෂධ සංයෝජකයන්ටද එකම වැටුප් ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කළ යුතු බවට නිර්දේශයක්ද නිකුත් කරනු ලැබීය. එහෙත්, එය නිර්දේශයක් පමණක් බවට පත් වෙමින්, කි‍්‍රයාවට නොනැඟීම හේතුවෙන් 2006 ජුලි මස 12 වැනි දින ඉහත වින්දිත පාර්ශ්වයේ සේවකයකු විසින් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබිණි. එම පැමිණිල්ල මත සිදු කරන ලද විමර්ශනයන්ගෙන් අනතුරු ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම විසින් කරනු ලැබූ නිර්දේශය වූයේද බන්ධනාගාර ඖෂධ සංයෝජකයන්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සේවකයන්ගේ වැටුප් ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා ලෙසයි. එහෙත්, ඉහත කී තීරණ සහ නිර්දේශයන් පිළිබඳ කිසිදු තැකීමක් නොකරන බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙර පරිදිම කටයුතු කරගෙන යනු ලබන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව නීතියට ඉහළින් තිබෙන ආයතනයක් යැයි සිතූ නිසා විය හැකිය. කෙසේ වුවද, 2007 සැප්තැම්බර් මස 11 වැනි දින එච්.ආර්.සී./5403/06/එල්.-13 අංකය යටතේ නැවතත් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරියේ පැමිණිල්ලක් ගොනු වන්නේ සිදු වන අසාධාරණය හමුවේ බන්ධනාගාර ඖෂධ සංයෝජකයන් විසින් නීතියේ රැුකවරණය පතනු ලැබුවේ කළ හැකි අන් යමක් නොමැති නිසාය. එම පැමිණිල්ල අනුව මානව හිමිකම් කොමිසම නිර්දේශ කරන්නේ, ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1* වගන්තියේ සඳහන් මූලික අයිතිවාසිිකම් උල්ලංඝනය වී ඇති බවයි. ඒ නිසා පෙර ලබාදුන් නිර්දේශයන් කි‍්‍රයාත්මක කරන ලෙස නැවතත් නිර්දේශ කරනු ලබන අතර, 1996 අංක 21 දරන ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 15 වැනි වගන්තිය අනුව එම නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධව වාර්තාවක් 2007 ඔක්තෝබර් මස 24 වැනි දිනට පෙර ලබා දෙන ලෙසද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියෝග කරනු ලබයි. එසේම පැමිණිලිකරුවන් වෙනුවෙන් සුදුසු උසස් වීම් පරිපාටියක් ඇති කළ යුතු බවටත්, එකී උසස් වීම් පටිපාටිය සකස් කිරීමේ දී ඔවුන්ගේ බඳවා ගැනීමේ ක‍්‍රමයක් ඔවුන්ට ලබා දී ඇති පුහුණුවත්, ඒ ඒ කාලයන් තුළ දෙපාර්තමේන්තු බලධාරීන් මානව හිමිකම් කොමිසම සහ ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නිර්දේශයේ සලකා බලමින්, අදාළ උසස් වීම් පටිපාටිය සකස් කළ යුතු බවටත් නිර්දේශ කරන ලදී. එහෙත්, මේ සියලූම නිර්දේශ හා නියෝග බීරි අලින්ට වීණා ගායනා කිරීමක් පමණක්ම වන්නේ තව දුරටත් ඒවා කි‍්‍රයාත්මක නොකර කල්මැරීම හැර අන් කිසිවක් සිදු නොවීම නිසාය. එහෙත්, එතැනින් නතර නොවන බන්ධනාගාර ඖෂධ සංයෝජක නිලධාරීන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කරනු ලබන අතර, එස්.සී.එෆ්.ඞී. 368/06 යටතේ එය විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබීය. දීර්ඝ කාලයක් තිස්සේ විභාගයට ගැනෙන එම මූලික අයිතිවාසිකම් නඩුවට අදාළ තීන්දුව 2015 ජනවාරි මස 28 වැනි දින ප‍්‍රකාශයට පත් කෙරෙන අතර, එහි තීන්දුවද මින් පෙර වැටුප් කොමිසම සහ මානව හිමිකම් කොමිසම ලබා දුන් නිර්දේශය හා සමපාත විය. දැන් එම තීන්දුව ලබා දීමෙන් පසුවද, වසරක් ඉක්ම ගොසිනි. එහෙත්, තවමත්බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ පෙර පැවැතියාට වඩා තත්ත්වයේ කිසිදු වෙනසක් සිදු වී නොමැත. නීතියේ කි‍්‍රයාකාරීත්වය තරම් නීතියේ රැකවරණය වේගවත් නැති බව බන්ධනාගාරය තුළින්ම ඔප්පු වෙමින් තිබේ. බන්ධනාගාරයේ ඖෂධ සංයෝජකයකු නීතියට පටහැණි යමක් සිදු කළේ නම්, මේ වන විට ඔහු වෙනුවෙන් නීතිය කි‍්‍රයාත්මක වී බොහෝ කල්ය. එසේ වූවා නම්, මේ වන විට ඔහු බන්ධනාගාරයේම සිරකරුවකු බවට පත් වී සිටීමට ද ඉඩ ඇත. එහෙත්, ලොකු පුුටුවල ඇත්තන් එහි ම සේවකයන් වෙනුවෙන් වුවද, නීතියේ රැුකවරණය සපයන්නට එතරම් උනන්දුවක් දක්වන්නේ නැත. බන්ධනාගාරයේ සේවකයන්ට උද්ඝෝෂණ, වර්ජන කිරීමටද අයිතියක් නැතත්, වැටත් නියරත් ගොයම් කන රටක තව දුරටත් බලා සිටීමෙන් කිසිවක් සිදු වේ යැයි සිතිය නොහැකිය. එහෙත්, අවසාන වශයෙන් අවධාරණය කළ යුත්තේ, වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ලියා ඇති පරිදි සිරකරුවෝ පමණක් නොව බන්ධනාගාර සේවකයෝද මනුෂ්‍යයෝ බව පාලකයන් තේරුම් ගත යුතු බවයි.