නියඟයෙන් ගොවිතැන් පාළුවෙලා. ගොවියෝ වන්දි ඉල්ලනවා. ආණ්ඩුවට වන්දි ගෙවන්න සල්ලි නැති බව කියනවා. මඩකලපුවේ පාසල් ගොඩනැඟිල්ල විවෘත කරන්න ගියාම ජනාධිපතිවරයා වැදගත් තොරතුරක් දැනගෙන. පාසල්වල වැසිකිළි නැති බව. අපි එදිනෙදා වැඩකටයුතුවලට, බස් එකකට ගොඩ වුණාම මුදල් ආධාර ඉල්ලන කීදෙනෙකු හමු වෙනවාද? විශේෂයෙන් පිළිකාවලට බෙහෙත් ගන්න. එහෙම නැත්නම්, හෘද රෝගවලට සැත්කම්වලට, ආධාර ඉල්ලන්න. වගා හානි වන්දිවලටත් වඩා පාසල් වැසිකිළි නැතිකමටත් වඩා අතිශය සංවේදී දෙයක් මේක. රෝගීන් වෙනුවෙන් ආධාර ඉල්ලන අයගෙන් ළමයින් ගැන ආධාර ඉල්ලන එක හුඟක් වැඩියි. මෙය සංවේදී දෙයක්. කවුරුන් හෝ ආධාර ඉල්ලන අයගෙන් අනිවාර්යයෙන්ම කියවෙන දෙයක් තියෙනවා. ”මේ ඔපරේෂන් එකට ලක්ෂ අටක් යන බව වෛද්‍යවරුන් කීවා. අපි ජනාධිපති අරමුදලට ලිව්වා. ඒකෙන් රුපියල් ලක්ෂ දෙකක් ලැබුණා...” වැනි දේ අනිවාර්යයෙන්ම කියැවෙනවා. මෙයින් පැහැදිලි වන්නේ මොකක්ද? අදාළ සැත්කම් සඳහා මුළු වියදම දරන්න ජනාධිපති අරමුදලේ සල්ලි නැතිකම. ඉතින් තමන්ගේ දරුවාව බේරා ගන්න පාරට බැහැලා හිඟාකන්න වුණත් දෙමව්පියන් පසුබට වෙන්නේ නැහැ. ආණ්ඩුවට සල්ලි නැති කතාව හැම දේට ම මුල් වෙනවා. වගා වන්දි ගෙවන්න සල්ලි නෑ. ඉස්කෝලවල වැසිකිළි හදන්න, පාසල් දරුවන්ට බොන්න වතුර ටිකක් දෙන්න, ජීවිත බේරා ගැනීමේ සැත්කම් කරන්න මේ මොහොකටවත් සල්ලි නෑ. අනෙක් පැත්තෙන් අවුරුද්දක් ගාණේ අය වැය හිඟය පියවා ගන්න රුපියල් කෝටි ලක්ෂ ගණනින් ණය ගන්නවා. දැන් ණය කන්ද අහස උසට ගොඩගැහිලා. හැම තැනෙන්ම කියැවෙන්නෙත්, පැහැදිලි වන්නෙත් සල්ලි නැතිකම මයි. මේ කතාව ඇත්තද කියලා සොයා බලන අය අඩුයි. හැබැයි, මහජන මුදල් වංචා කරන, ගසා කන හොරුන්, මංකොල්ලකාරයන් ගැනත්, ඉතිහාසයේ අන් කිසි කලෙක කතා නොකළ තරම් කතා වෙනවා. බැඳුම්කර කොල්ලයේ ප‍්‍රමාණය ගැන සංවාදය කවුරුනුත් දන්නවා. ඒ වාගේම රාජ්‍ය ආයතන පහළොවක වංචා, දූෂණ ප‍්‍රමාණය රුපියල් කෝටි 11,100ක් බව පසුගිය සතියේ හෙළි වී තිබෙනවා. රුපියල් කෝටි 11,100ක් කියන්නේ පොඩි සල්ලියක් නොවෙයි. හැබැයි, මේ කොල්ලකාලා තියෙන්නේ අපේ සල්ලි කියලා තේරුම් අරගෙන තියෙන්නේ කීයෙන් කීදෙනාද? කෝප් කමිටුවේ සභාපතිකම ජනතා විමුක්ති පෙරමුණට ලැබුණාට පස්සේ දැන් මංකොල්ලකාරයන් ගැන හොයා බලා වාර්තා කරනවා. මාධ්‍යයෙන් ඒ ගැන තොරතුරු එළියට දෙනවා. එච්චරයි. මේ අපේ සල්ලි නේද කියලා සිතන්නේම නෑ. වගා වන්දි ගෙවීම හරි පාසල් වැසිකිළි හරි රෝගීන්ගේ සෞඛ්‍ය ආධාර වගේ දේවල් එක්ක කෝප් වාර්තාවේ තිබෙන සම්බන්ධය මොකක් ද කියලා සමහර විට සිතයි. අන්න එහෙ ම හිතුවා නම්, ඒක තමයි හොඳ. අපි එදිනෙදා මුහුණ දෙන ආර්ථිකය සම්බන්ධ කවර හෝ ප‍්‍රශ්නයක් කෙළින්ම හෝ වක‍්‍රව හෝ මහජන මුදල් කොල්ලකෑමක් එක්ක සම්බන්ධ වී තිබෙනවා. සංකීර්ණ තත්ත්වයන් ගැන තේරුම් ගැනීම ටිකක් පැත්තක තියලා සෘජුව බලපාන හැටි තේරුම්ගෙන සිටීම වැදගත්. අලූත්ම කෝප් වාර්ථාවෙන් හෙළි කර තිබෙන මෙම ආයතන පහළොව දිහා බැලූවාම ජනතාවට සෘජුව බලපාන ආයතන තියෙන්නේ කීපයයි. සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව, විදුලිබල මණ්ඩලය, සේවක භාරකාර අරමුදල, ඖෂධ සංස්ථාව, ජාතික රූපවාහිනී සංස්ථාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, වරාය අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය වගේ සෘජුව බලපාන්නේ නැති ආයතන විශාල ප‍්‍රමාණයක් තියෙනවා. ” ඕවායේ සල්ලි හොරකම් කළාට අපට මොකෝ...?” කියලා හිතන්නයි පුරුදු වෙලා ඉන්නේ. මේ කුමන ආයතනයකින් හොරකම් කර තිබුණත්, අවසානයේ එකතු වෙන තැනක් තියෙනවා. ඒ තමයි, මහා භාණ්ඩාගාරය. මේ කියන ආයතන පහළොව වෙනුවෙන් අදාළ අමාත්‍යාංශය හරහා සල්ලි දෙන්නේ මහා භාණ්ඩාගාරයෙන්. මේ ආයතනවලින් හොරා කා තිබෙන සල්ලි මහා භාණ්ඩාගාරයේ ඉතිරි වුණා නම්, අපට වගා වන්දි ගෙවන එක හරි ම සරල දෙයක්. ඉස්කෝලවලට වැසිකිළි, බොන්න වතුර දෙන එක සුළු දෙයක්. රෝගී දරුවන් ඇතුළු සියලූ දෙනා සුවපත් කරන එක තවත් සුළු දෙයක්. නියඟයෙන් වගා හානි වුණු ගොවි පවුල් සංඛ්‍යාව ලක්ෂ අටකට අඩුයි. ඔවුන් වෙනුවෙන් රුපියල් කෝටි 11,000ක් යොදවන්න භාණ්ඩාගාරයට සල්ලි තිබුණා නම්, එක පවුලකට ලක්ෂ දෙකකට වැඩිය මුදලක් ලැබෙනවා. මුළු රටේම පාසල් දරුවන්ගේ වැසිකිළි ප‍්‍රශ්න, බොන්න වතුර ප‍්‍රශ්න විසඳා ගන්න රුපියල් කෝටි දෙදහසක් වගේ මුදල් ප‍්‍රමාණවත්. තව කෝටි දහස් ගණනක් ඉතුරුත් වෙනවා. තමන්ගේ සමීපතමයාට බෙහෙත් ගන්න හරි ඔපරේෂන් කර ගන්න හරි සල්ලි නැති අය මුළු රටේම ඉන්නේ ලක්ෂයකට අඩු පිරිසක්. අර රුපියල් කෝටි 11,000 මහා භාණ්ඩාගාරයේ තිබුණා නම්, එක් රෝගියෙකුට රුපියල් ලක්ෂ 16ක් විතර බෙදා දෙන්න තිබුණා. මේ කියන්නේ දුප්පතුන් නැති ලෝකයක් වගේ මනෝරාජික සංකල්ප ගැන නොවෙයි. අපේ සල්ලි ඒ කියන්නේ මහා භාණ්ඩාගාරයේ තිබෙන සල්ලි කීපදෙනෙකු කොල්ලකෑවාම අපට වෙන්නේ හූල්ලන්න විතරයි. රෝගී තත්්ත්වයක් නම්, ජීවිතයත්, මරණයත් අතර මැරි මැරී ඉන්න විතරයි. බලයේ ඉන්න ආණ්ඩු කියන්නේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න සල්ලි නෑ කියලයි. හැබැයි, ආණ්ඩු කරන කෙරුමන්ගේ ගෝලයන්ට මහජන ධනය කොල්ලකන්න ඉඩකඩ සලසා දීලා තියෙන්නේ. කෝප් වාර්තාවෙන් හෙළි කර තිබෙන්නේ සුනිල් හඳුන්නෙත්තිගේ සල්ලි හොරකම් ගැන නොවෙයි. ඔබේත්, මගේත් සල්ලි හොරකම් කර තියෙන හැටි ගැනයි. නියඟයෙන් වගා හානි වෙලා ඉන්න ගොවියන් ලක්ෂ දෙකක් කොළඹට ඇවිල්ලා ”අපේ සල්ලි කොල්ලකන උන්ගෙන් අය කරගෙන වගා වන්දි දියව්” කියලා උද්ඝෝෂණය කළොත්, ජය ගන්න එක කජු කනවා වගේ.