අපේ රට දුවන්නේ දඩ හා බදුවලිනි. රටක් රාජ්‍යයක් විදියට මෙතුවක් කල් පුරාජේරු කෙළිමින් අපි බඩ ගෑවේ දඩ හා බදුවල ආනිසංශයෙනි. ගෙවී ගිය අවුරුදු හැට නවයටම එය අදාළය. සුද්දා අපේ රට හැර ගියදා පටන් මේ රට කෙරූ කළු සුද්දා දැන සිටි එකම ආර්ථික ක‍්‍රමෝපාය දඩ හා බදු විය. සුද්දාගේ කාලයේ කියා වෙනසක් නැත. නමුත් සුද්දා කළු සුද්දා තරම් දඩ ගසා මහජනයාගේ බොටුව මිරිකුවේ නැත. එක් දහස් පන්සිය පහට පෙර රට කෙරූ කළු සිංහලයාගේ බද්දට සුද්දාගේ බද්ද පරාදය. ඒ නිසා කළු සිංහලයා සහ කළු සුද්දා අතර එතරම් වෙනසක් අපට පෙනෙන්නේ නැත. මෙකී කරුණු කාරණා පිළිබ`දව සලකා බලන විට දඩ හා බදු මතින් යැපීම අපේ රටේ මානව පරිණාමීය සංස්කෘතිමය ලක්ෂණයක් යැයි සිතේ. එබැවින්, එකී සුවිශේෂී ලක්ෂණය පාසල් දරුවන්ගේ ඉතිහාස පොතට ඇතුළත් කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන බලධාරීන් වහාම පියවර ගත යුතුය. නැතහොත්, එය අපේ ඓතිහාසික ප්‍රෞඪත්වයට කරන්නා වූ අති මහත් නිගාවකි. දඩ හා බදු ගැන නැවත කතා කරන්නට සිදු වී ඇත්තේ යහපාලන දිළින්`දන්ගේ සුපිරි වැඩ නිසාය. දෙදහස් දාහතේ් විපක්ෂය හොල්මන් කළ අය වැය මඟින් රථවාහන දඩ වැඩි කරන්නට යෝජනා විය. ඒ අනුව රුපියල් විස්සට පැවති රථවාහන වැරදි සම්බන්ධයෙන් වූ අවම දඩය රුපියල් දෙදහස් පන්සීයක් කිරීමට යෝජනා විය. ඉන් අනතුරුව රථවාහන වැරදි අටක් සම්බන්ධයෙන් රුපියල් විසිපන්දහසක දඩයක් පිළිබ`ද යෝජනාවක් කරළියට පැමිණියේය. නමුත්, මේ යෝජනා දෙකෙන්ම යහපාලකයෝ හොද හැටි ඇන ගත්හ. රනිල් මෛත‍්‍රී ආණ්ඩුව බලයට පැමිණි දා සිට සුපිරිම ගණයේ ඇන ගැනීම්වලට ලක් විය. මෑතකාලීනව ගතහොත්, එට්කා ගිවිසුම ඊට උදාහරණයකි. ඉන්දියාවට ආලය පාන්නට ගොස් යහපාලකයෝ මූණේ දැලි ගා ගත්තෝය. ඉන් අනතුරුව රථවාහන දඩ මුදල් වැඩි කිරීමට ගත් උත්සාහයයි. දෙසැම්බර් මාසයේ ඊට එරෙහිව දීපව්‍යාප්ත බස් සහ ත‍්‍රී රෝද රථ වර්ජනයක් ආරම්භ විය. පසුගියදා ලොතරැුයි මිල වැඩි කිරීමට ආණ්ඩුව ගත් උත්සාහයද දිගු දුරක් ගොස් අතහැර දැමීමට ආණ්ඩුවට සිදු විය. ආණ්ඩුවේ නූල් සූත්තරකාරයන්ගේ බකල් වැඩ නිසා අවසානයේ බෙල්ල දීමට සිදු වන්නේ අහිංසක ජනාධිපතිතුමාටය. ප‍්‍රශ්නයක් උද්ගත වීමට පූර්වයෙන් ඒ ගැන සොයා බලා වැඩපිළිවෙළක් යොදන්නට එතුමා දන්නේ නැත. ප‍්‍රශ්නය ඔඩු දිවූ පසු දුම්මල වරම ගෙන හතර අතේ බැණ වැදීමෙන් අනතුරුව එතුමා සෝවාන්් ඵලය ලබන්නේය. ප‍්‍රශ්නයට විස`දුමක් ලබා දෙන්නේ ඉන් අනතුරුවය. නමුත්, ඒ විස`දුම් ඉතා කෙටිකාලීන ඒවාය. නැවත ටික කාලයකින් අර ප‍්‍රශ්න ඩබල් වී පැනනඟින්නේය. රථවාහන වැරදි දඩය සම්බන්ධයෙන් ලබා දුන් විස`දුම ද ඒ ආකාරයේම විස`දුමකි. දෙසැම්බර් මාසයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය නතර වූයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයකින් පසුවය. ඉන්පසුව ජනාධිපතිවරයා රථවාහන වැරදි දඩ සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමේ කමිටුවක් පත් කළේය. එකී වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා අතට පත් කිරීමට පත් කළ කමිටුව කටයුතු කළේය. මෙම වාර්තාව අනුව පත් කළ කමිටුවේ උගත් බුද්ධිමත් සාමාජිකයන් විසින් පෙන්වා දී ඇති කරුණු කිහිපයක් වෙයි. රුපියල් විසිපන්දහසෙන් නැවතුණු දඩ යෝජනාව රුපියල් තිස්දහසේ සිට පනස් දහස දක්වා වර්ධනය කළ යුතු බව ඔවුන් යෝජනා කරයි. රියැදුරු බලපතක් නොමැතිව රිය ධාවනය, රියැදුරු බලපතක් නොමැත්තන් රිය ධාවනයට අනුයුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම, අපරීක්ෂාකාරීව රිය දුම්රිය මාර්ගයකට ඇතුළු කිරීම සහ වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය යන වැරදි සම්බන්ධයෙන් ඉහත කී ආකාරයට රුපියල් තිස්දාහේ සිට පනස් දහස දක්වා දඩයක් ගැසිය යුතු බව පත් කළ කමිටුවේ උගත් බුද්ධිමත් උදවිය ජනාධිපතිවරයාට කියා ඇත. ඊට අමතරව මාස තුනේ සිට වසර දහය දක්වා සිර ද`ඩුවම්ද ලබා දිය යුතු බව එකී වාර්තාව සැපයූ මහත්වරුන් ජනාධිපතිවරයාට දන්වා ඇත. මෙහි එන එක් වරදක් සම්බන්ධයෙන් රජය ද වගකීම භාර ගත යුතුය. අපරීක්ෂාකාරීව රථවාහන දුම්රිය මාර්ගයකට ඇතුළු කිරීම එම වරදයි. මේ වරද සම්බන්ධයෙන් රියැදුරන්ට සේ ම දුම්රිය දෙපාර්තමේන්තුවටද ඇ`ගිල්ල දිගු විය යුතුය. බොහෝ විට රියැදුරන් අපරීක්ෂාකාරී ලෙස ඇතුළු වන්නේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලිනි. දුම්රිය ගේට්ටුවක් නොමැතිකම රියැදුරන්ව අපරීක්ෂාකාරී ඇතුළු වීමකට පොළඹවන සුලූය. අනාරක්ෂිත නොවන ස්ථානවලින් දුම්රිය ගේට්ටු කුඩුපට්ටම් කරගෙන ධාවනය කරන්නට රියැදුරන් ක‍්‍රියා කරන්නේ නැත. ඒ නිසා මෙවැනි වරදක් සම්බන්ධයෙන් දඩයක් හෝ ද`ඩුවමක් ක‍්‍රියාත්මක විය යුත්තේ මාර්ගවල තිබෙන අඩුපාඩු පිළිසකර කිරීමෙන් අනතුරුවය. ඒ නිසා එම වරදට අදාළ වැඩි වගකීමක් ගත යුත්තේ රජයයි. කෙසේ වෙතත්, මේ සියලූ වරදවල් රථවාහන නීතියට අනුව ඉතා බරපතළ කාරණාවන් ය. රිය අනතුරු වළක්වා ගැනීම ස`දහා මෙම දඩ ක‍්‍රියාත්මක කළ යුතු බව ආණ්ඩුවේ ඇත්තෝ පවසති. නමුත්, මේ කමිටු වාර්තාව සකසා ඇත්තේ, රිය අනතුරු වළක්වා ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් නොවේ. දිනකට රිය අනතුරුවලින් පුද්ගලයන් අට දෙනෙක් මිය යති. කාලීන දැඩි අර්බුදයක් වී ඇති රිය අනතුරු වළක්වා ගැනීම ස`දහා කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාවයක් තිබිය යුතුය. ඒ වැඩපිළිවෙළ සැකසිය යුත්තේ කොළඹ ඒ.සී. කාමරවල සැප වි`දිමින් නොවන බව නැවත නැවත මතුරන්නට වුවමනා නැත. දඩ වැඩි වූ පමණින් රිය අනතුරු වාෂ්ප වන්නේ නැත. රිය අනතුරු වළක්වා ගන්නට නම් ප‍්‍රායෝගිකව ක‍්‍රියා කළ යුතුය. නමුත්, මේ වාර්තාව හරහා එවැනි ප‍්‍රායෝගික ඉරියව්වක් පෙනෙන්නේ නැත. මේ වාර්තාව එකදු ප‍්‍රධාන මාර්ගයක් නිරීක්ෂණය නොකොට සකසන ලද වාර්තාවකි. අවම දඩය ගැන තවම ආණ්ඩුවේ හාංකවිසියක් නැත. නිසැකවම රුපියල් විස්සේ අවම දඩය රුපියල් දෙදහස් පන්සීය බවට පරිවර්තනය කරනවාට සැක නැත. නුදුරේදීම එය සැක නෑර දැන ගත හැකිය. මෙම කමිටු වාර්තාව ගැන සත්‍ය අර්ථකථනය මෙයයි. වත්මන් යහපාලන ආණ්ඩුවට දැන් සල්ලි නැත. නමුත්, කොහෙන් හෝ සල්ලි සෙවිය යුතුය. ලේසියෙන් පහසුවෙන් සල්ලි හොයන එකම ක‍්‍රමය දඩ හා බදුය. දැන් රටේ රථවාහන වැඩිය. ඒ රථවාහනවලින් සිදු වන වැරදිද වැඩිය. සල්ලි හොයන උල්පත ලෙස ආණ්ඩුවේ දැක්ම මෙයයි. ඒ උල්පත ක‍්‍රියාත්මක කර ගන්නට එකපාරටම ආණ්ඩුවට බැරි විය. ඉන් පසු කමිටුවක් ඇට වූ බව දැනගන්නට ලැබිණ. ඉන් මාස දෙකකට පසු යස අගේට වාර්තාවක් එළිදක්වා ඇත. ලංකාවේ සමස්ත මාර්ග නිරීක්ෂණයකට පමණක් අවුරුද්දක් පමණ ගත වන බව උපකල්පනය කළ හැකිය. නමුත්, රිය අනතුරු වළකන කමිටු වාර්තාවක් මාස දෙකක් වැනි කුඩා කාලයකින් දෙතුන් දෙනෙක් විසින් හැදුවේ කෙසේද යන්න හිතා ගැනීමට නොහැකිය. මේ සිද්ධි දාමය තුළ අමුතුවෙන් තේරුම් ගැනීමට තරම් බරපතළ දෙයක් නැත. ආණ්ඩුවේ වුවමනාව රිය අනතුරු අඩු කිරීමවත්, රියැදුරන් විනයගරුක කිරීමවත් නොවේ. ආණ්ඩුවේ අවශ්‍යතාවය තමන්ගේ හි`ගනකම වසා ගැනීමය. එය කරන්නේ දඩ හා බදුවලිනි. සුද්දාට වඩා කළු සුද්දා ජනතාවගේ බොටුව මිරිකන බව කීවේ කට කහනවාට නොවේ. සිදු වෙමින් පවතින සත්‍යය එය වන නිසාය. මේ වාර්තාව ක‍්‍රියාත්මක කිරීමට නීතිය නවන පොලිස්පති ද උල්පන්දම් දෙමින් සිටියි. දැන් පොලිසියේ මහත්වරුන්ට වැඩ පටන් ගන්නට කලින් ආනාපානසති භාවනාව කරන ලෙස නියෝග කර ඇත. හො`ද හුස්මක් අරගෙන දඩ කෙළීම එහි අරමුණ වන්නට ඇත. අපේ රටේ රථවාහන පොලිස් සේවය තවදුරටත් සේවයක් වන්නේ නැත. රියැදුරන් පොලිස් නිලධාරීන් දෙස බලන්නේ රිය අනතුරු වළකන තමන්ගේ ආරක්ෂකයන් ලෙස නොවේ. ප`දුරු ගරිල්ලන්ගේ ස්වභාවයක් අපේ රටේ පොලිසියෙන් දිස් වේ. මේවා ඉහළ සිට පහළට රූරා එන ප‍්‍රශ්නය. ඉහළ වෙනස් කරන තුරු පහළ කොහොමත් ඔහොමය. දඩ සහ බදු හෙවත් ශ‍්‍රී ලාංකීය ඓතිහාසික ආර්ථික මොඩලය මිස්ටර් ක්ලීන්ගේ ටිකිරි මොළය යටතේත් ක‍්‍රියාත්මක වෙන්නේය. ඒ දඩ බදුවලින් අපේ රටේ ජනයා අනාදිමත් කාලයක පටන් කැරකී, මිරිකී, ඇඹරී සිටින්නෝය. අප පුදුම වන්නේ මේ තරම් කාලයක් ජනතාව තැළුෑ පෙළුෑ පාලකයන් පිළිබ`දව නොව ඒ තැළුම්, පෙළුම්, ඉතාම සීරුවට සෘජු මිනිසුන් සේ දරා ගනිමින් දේශපාලනය ගැන මහා ඉහළින් තප්පුලන උත්තුංග මානවයන් ගැනය.