දැනට ලෝකයේ විශාල ගැටලූවක් ලෙස පවතින ගිනි අවි අවභාවිතය හේතුවෙන් වසරක දී විනාශ වන මිනිස් ජීවිත ගණන වැඩි වෙමින් පවතින අතර, එය අවම කර ගැනීම සඳහා ජපානය විසින් සිය රට තුළ කි‍්‍රයාත්මක කරන වැඩපිළිවෙළ සෙසු රාජ්‍යයන් හට ආදර්ශයක් බව පෙන්වා දී ඇති බව වාර්තා වේ. ඔවුන් මේ සඳහා අවධානය යොමු කර ඇත්තේ 2014 වසරේ දී පමණක් ඇමරිකාව තුළ පුද්ගලයන් 33,599ක් මෙම ගිනි අවි අවභාවිතාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වීම හේතුවෙනි. ඒ අතුරින් පොලිසිය විසින් සිදු කරන ලද වෙඩි තැබීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයන් ගණන ඉතා විශාල අගයක් ගෙන ඇති බව වාර්තා වේ. ජපානය තුළ 2014 වර්ෂයේ දී ගිනි අවි අවභාවිතය හේතුවෙන් මරණයට පත් වී ඇත්තේ හය දෙනෙකු වැනි කුඩා ප‍්‍රමාණයකි. තවද මෙම ගිනි අවි පිළිබඳ නීති පැනවූ ප‍්‍රථම රට ලෙස ද ජපානය නම් කෙරේ. ජපානය විසින් පනවා ඇති නීතිරීතිවලට අනුවම කටයුතු කරමින් පුද්ගලයන් හට ගිනි අවි භාවිත කිරීමට ලබා දීම හේතුවෙන් මෙසේ තනි පුද්ගල හානි අවම කර ගැනීමට හැකි වී ඇතැයි එරට රජය විසින් පෙන්වා දෙයි. එහි දී කිසියම් සාමාන්‍ය පුද්ගලයෙකුට ගිනි අවියක් මිල දී ගැනීමට අවසර ලබා දීමේ දී දීර්ඝ ක‍්‍රියා පටිපාටියකට අනුකූලව පරීක්ෂණයට භාජනය කරන අතර, ගිනි අවිය ප‍්‍රායෝගික ලෙස හා මානසික ලෙස භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබන පුද්ගලයන් හට පමණක් ගිනි අවි ලබා දීම නිසා මෙසේ ජපානය තුළ පුද්ගල ඝාතන අවම කර ගැනීමට තමන්ට හැකි වී තිබෙන බව එරට රජය විසින් ප‍්‍රකාශ කර සිටියි. මීට අමතරව ජපානය තුළ අපරාධකරුවන් මෙල්ල කිරීමේ දී එරට පොලිසිය විසින් ගිනි අවියට වඩා ‘තයිහෝජිත්සු’ නමැති සටන් කලාව පිළිබඳව විශ්වාස කරමින් අපරාධකරුවන් මර්දනය කිරීමට පෙළඹී සිටින නිසා ද මෙම පුද්ගල ඝාතනයන් අවම කර ගැනීමට හැකි වී ඇතැයි පැවසේ.