ලාංකීය සමාජය මේ වන විට බරපතල අනතුරු රැසකට මුහුණ දී සිටී. දේශපාලන, ආර්ථික හා සාමාජීය වශයෙන් ධනපති දේශපාලනඥයන් විසින් මේ සමාජය අර්බුදයෙන් අර්බුදයට රැගෙන ගියේ ලැබුණා යැයි කියන නිදහසෙන් පසුවය. අද දවසේ එය ඇත්තේ තීරණාත්මක තැනකය. ලංකාවේ අනාගතය ගොඩනැඟීමේ පූර්ව කොන්දේසිය වනාහි ලාංකීය ළමා පරපුර හැම අතින්ම සංවර්ධනය කිරීමයි. එහෙත්, මේ මොහොතේ ලංකාවේ ළමයාගේ තත්ත්වය අතිශයින්ම ඛේදජනක තැනකට ඇදවට්ටවා ඇත. ලංකාවේ ළමා අපයෝජන හා ළමා හිංසනයන් මේ වන විට ශීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇත. එය තව දුරටත් වර්ධනය වෙමින් පවතින බවට දත්ත මේ වන විටත් තහවුරු කර ඇත. මෙය වර්ධනය වීමට ඉඩ හැරීම යනු රටේ අනාගතය විනාශ කිරීමට උදවු කිරීමකි. මේ තත්ත්වයන් නැවැත්වීමට රටේ සියලූ ක්‍ෂේත‍්‍රයන්හි අවධානය යොමු කළ යුතුම මොහොත බවට මේ මොහොත පත්ව ඇත. ළමා අපයෝජන හා ළමා හිංසනය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථකථනය කරන්නේ ”සියලූම ආකාරයේ කායික හා මානසිකව ළමයාට කරන්නා වූ නොමනා කි‍්‍රයා, ලිංගික අපයෝජන, නොසලකා හැරීම හෝ කෲර ලෙස සැලකීම හෝ වාණිජමය හෝ වෙනත් ආකාරයේ සූරාකෑම් හේතුකොටගෙන ළමයාගේ සෞඛ්‍ය පැවැත්ම, සංවර්ධනය, වගකීම, විශ්වාසය හෝ බලය යන සම්බන්ධතා විෂයයෙහි ගරුත්වයට හානි පැමිණවීම හෝ එසේ විය හැකි කි‍්‍රයා කිරීම ළමා අපයෝජනය හා හිංසනයයි” යනුවෙනි. මේ විග‍්‍රහයට අනුව ලංකාවේ ළමා හිංසනයන් අපයෝජනයන් කොතරම් ද යන්න තේරුම් ගත හැකිය. මේ පිළිබඳව ලාංකීය සමාජය නිවැරැුදිව දැනුම්වත් නැත. දැනුම්වත් කිරීමට උත්සාහයක් ද නැත. ලාංකීය සමාජය ළමා අපයෝජනය යනුවෙන් තේරුම්ගෙන ඇත්තේ ලිංගික අපයෝජනයන් පමණි. ඒ බව දිනපතා පුවත් පත් කියවීමෙන් මැනැවින් තේරුම් යයි. ලාංකීය මාධ්‍ය සහ සමාජ සංවිධාන ද අපයෝජනය කෙසේ තේරුම්ගෙන ඇද්ද යන්න වාර්තාකරණයන් ගෙන් සහ විචාරයන්ගෙන් තේරුම් ගත හැකිය. ළමයා පිළිබඳව සොයා බැලීමට, රැුකවරණයට, ආරක්ෂාවට, නීතිමය රැුකවරණයට රජය විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුවක් පත් කර ඇත. පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව යනුවෙන් සමාජය දන්නේ එයයි. ළමා අපයෝජන, හිංසා, අපරාධ සම්බන්ධයෙන් ඒ සඳහා පැමිණිලි ලැබෙයි. ඒවා විමසයි. දඬුවම් ලැබෙයි. එහෙත් අඩු වීමක් නැත. පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නටාෂා බාලේන්ද්‍ර මහත්මිය සහ සහකාර අධ්‍යක්ෂ සජීව සමරනායක මහතා මේ මොහොතේ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නායකත්වය දරයි. එහෙත් නිශ්චිත වැඩපිළිවෙළක් වෙත යොමුව ඇති බවක් නොපෙනේ. රජය පැත්තෙන් උත්තේජනයක් නොලැබෙන කල්හි රාජ්‍ය නිලධාරීන්ට ද කළ හැක්කක් නොමැති බව සත්‍යයකි. පාලකයන් කොහොමත් ළමයින් පාවිච්චි කරන්නේ දේශපාලනයට මිස අන් යමකට නොවේ. පාලකයන් ළමයින් සම්බන්ධයෙන් දක්වන්නේ ද  ඇල්මැරුණු ප‍්‍රතිපත්තියකි. මේ මොහොතේ ලංකාව තුළ ළමා අපයෝජන හා හිංසනයන් වර්ධනයක් පෙන්නුම් කරමින් ඇත. පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති දත්තයන් අනුව 2009 වර්ෂයේ දී ළමා අපයෝජන හා ළමා අපචාර පිළිබඳව පැමිණිලි 228ක් පමණ වාර්තා වී ඇත. 2010, 2011, 2012, යන වර්ෂවල දී පිළිවෙළින් එසේ වාර්තා වී ඇති සංඛ්‍යාව 357ක්, 346ක් සහ 245ක් විය. මෙයින් වැඩි ප‍්‍රමාණයක් ලිංගික අපයෝජන, පහර දීම් හා පිළිිස්සීම් සම්බන්ධ සිදුවීම් ය. මේ වාර්තා වූ සිද්ධීන් ය. වාර්තා නොවූ සිදුවීම් ද මේ හා සමාන හෝ ඊටත් වඩා වැඩි විය හැකි ය. මීට අමතරව පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තු නවයට වාර්තා වී ඇති ප‍්‍රමාණය ද ඉහළ අගයක් ගෙන ඇත. පළාත් දෙපාර්තමේන්තු නවයට 2009, 2010 හා 2011 යන වර්ෂවල දී වාර්තා වූ ළමා අපයෝජන හා ළමා අපචාර සංඛ්‍යාව පිළිවෙළින් 2,954ක්, 4,029ක් සහ 4,445 කි. මේ අනුව එක් දෙයක් පැහැදිලිව පෙනේ. ලංකාවේ කොතෙක් නීති සම්බන්ධ ආයතන පැවතිය ද, මේ අපරාධයන්හි අඩුවක් සිදු වී නොමැති බවයි. ආසන්න වශයෙන් ගත් කල්හි 2014 වසරේ ළමා හිංසනයන්ට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව වී ඇත්තේ 10,315 කි. එය 2015 වසරේ දී 10,731ක් දක්වා වර්ධනය වී ඇත. මේ අතුරින් වැඩි වශයෙන් ලැබී ඇත්තේ ළමා හිංසනයන්ට අදාළ පැමිණිලි වේ. එම පැමිණිලි සංඛ්‍යාව 2,317කි. දරුවන්ට අනිවාර්ය අධ්‍යාපනය ලබා නොදීමට එරෙහි පැමිණිලි 1,463කි. ළමයින් අපයෝජනයට ලක් කිරීම්වලට අදාළ සිද්ධීන් 433ක් වාර්තා වී ඇත. මේ සිද්ධීන් වාර්තා වන ප‍්‍රදේශ වශයෙන් ගත් කල්හි ළමයින්ට එරෙහිව වැඩිපුර ම සිද්ධීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. ඊට අමතරව ගාල්ල සහ කුරුණෑගල යන දිස්ති‍්‍රක්කවලින් ද වැඩි පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන බව මින් අනාවරණය වේ. මේ තත්ත්වයන් වෙනස් කිරීම නීති පද්ධතියේත්, අධිකරණ පද්ධතියේත්, රජයේත් වගකීමකි. එහෙත්, ඒ වගකීම නිසි ලෙස ඉටු වන්නේ ද යන්න පිළිබඳව ජනතාවට ඇත්තේ බරපතල සැකයකි. ළමා අපයෝජනයක්, හිංසනයක් හෝ අපරාධයක් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයට එකම පිළිසරණ වන්නේ නීතියයි. වැඩි වශයෙන් ලංකාවේ මෙවන් අගතීන්ට පත්වන්නේ සාමාන්‍ය ජනතාව ය. නීතියේ පිළිසරණ පැතීමට ඇති ආර්ථිකමය හැකියාව ද මේ සමාජ ක‍්‍රමය තුළ ඔවුන්ගෙන් උදුරාගෙන ඇත. තිබෙන ඉඩකඩ හෝ ප‍්‍රයෝජනයට ගෙන නීතිය ඉදිරියට ගිය කල්හි ඒ සම්බන්ධයෙන් වන නීති කි‍්‍රයාමාර්ග ගැනීමට ඉතාමත් පැහැදිලි වැඩපිළිවෙළක් තිබිය යුතුම ය. වැඩිහිටියෙකු බවට පත්වන්නේ ළමයා ය. එබැවින්, ළමයින් සඳහා නිසි වැඩපිළිවෙළක්, දියුණු වැඩපිළිවෙළක් සකස් කිරීමේ වගකීම ඇත්තේ පාලකයන්ට ය. එම වගකීමෙන් පාලකයන්ට මිඳිය නොහැකි ය. සමාජවාදී රාජ්‍යයක දී ළමයා අතිශයින්ම සුරක්ෂිත බව සමාජවාදී රාජ්‍යයන් ඕනෑවටත් වඩා වැඩියෙන් ඔප්පු කර ඇත. සමාජවාදී රාජ්‍යයක දී ළමයා පිළිබඳව කිසිදු බරක් දෙමාපියන්ට නොපැටවේ. දරුවාගේ ප‍්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා සියලූ වගකීම් දරන්නේ රජය ය. දරුවාගේ සුරක්ෂිතභාවය, රැුකවරණය වෙනුවෙන් රජය කොන්දේසි විරහිතව මැදිහත් වේ. ඒ අනුව ගත් කල්හි සමාජවාදී රාජ්‍යයක දී දරුවා අතිශයින්ම සුරක්ෂිත ය. ධනපති රාජ්‍යයක දී විශේෂයෙන්ම ලංකාව වැනි රාජ්‍යයක දී දරුවා අතිශයින්ම අනාරක්ෂිත ය. ලංකා පාලකයන් දරුවා පිළිබඳව කතා කරන්නේ ලෝක ළමා දිනයේ දී පමණි. එහි දී විවිධ යෝජනා සම්මත කරයි. විවිධ පොරොන්දු ලබා දෙයි. එහෙත්, දරුවා අනාරක්ෂිත ය. අවම වශයෙන් පාසල තුළ දී දරුවාට පෙළ පොත් ටික හෝ නිසි වෙලාවට ලබා දීමට මේ පාලකයන් අසමත් ය. ළමයාගේ වර්ධනය පෝෂණය කි‍්‍රයාකාරිත්වය පිළිබඳව පාසල තුළ දී නිතිපතා සොයා බැලීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු වුව ද, රජය ඒ සඳහා දායකත්වයක් හෝ දක්වන බවක් නොපෙනේ. රජය ප‍්‍රකාශ කරන්නේ ළමයාගේ වගකීම රජය භාර ගන්නා බවයි. එහෙත්, වගකීම හෝ යුතුකමවත් පාලකයන් ඉටු කරන්නේ නැත. දිනෙන් දින දරුවාගේ අනාරක්ෂිත බව මිස සුරක්ෂිත බවක් පෙනෙන්නට නොමැත. සමාජය ළමයා සම්බන්ධයෙන් මෙතරම් කුරිරු වී ඇත්තේ ඇයි ද යන්න විමසා බැලීම සමාජයේ වගකීමකි. දිනෙන් දින අර්බුදයට යන ධනපති සමාජ ක‍්‍රමය විසින් අපට රටට උරුම කර දී ඇත්තේ මේ සා විශාල විනාශයන් ය. එක් පැත්තකින් අපේ සමාජය ආර්ථිකමය අතින් බිමටම ඇදවට්ටවා ඇත. අනෙක් පැත්තෙන් සංස්කෘතිකමය හා සාමාජීය වශයෙන් ද බිඳවට්ටවා ඇත. තරුණ, තරුණියන්ගේ මනස් විවිධ මනෝ විකාරයන්ට හසු කර ඇත. වැඩිහිටියාගේ සිට දරුවා දක්වා සියලූ දෙනා ම මේ අර්බුදයන්ට ඇද දමා ඇත. පාලකයන්ට අවශ්‍ය වන්නේ ගැටලූකාරී ව්‍යාකූල සමාජයකි. පාලනය යහතින් ගෙන යා හැක්කේ එවිට ය. එබැවින්, මෙම ධනපති සමාජ ක‍්‍රමය පදනමින්ම ගලවා ඉවත් කළ යුතු ය. එසේ ගලවා ඉවත් කිරීමකින් තොරව මේ අර්බුදයන්ට විසඳුම් සෙවීම මුළාවකි. නිදහසෙන් පසු මේ දක්වා පැවති ආණ්ඩු කළේ රට අර්බුදයන්ට ලක් කිරීම මිස ප‍්‍රගතිය කරා ගෙන යාම නොවන බව ඉතාමත් පැහැදිලි ය. රජය විසින් ළමයින්ගේ සියලූ වගකීම් දරනු ලබන සහ දෙමව්පියන් මත බර නොපටවනු ලබන පාලනයක් ගොඩනඟන තුරු ඒ සඳහා නිවැරැුදි ජනතාවාදී දේශපාලන නායකත්වයකට රට භාර කරන තුරු ලාංකීය සමාජයට කළ හැක්කේ ළමා හිංසනයන්, ළමා අපචාරයන් අවම කිරීම මිස අවසන් කිරීමක් නොවේ. ඒ බව ඕනෑවටත් වඩා වැඩියෙන් අද දවසේ සමාජය අත්දකිමින් සිටී.