සයිටම්ට එරෙහිව පෙල ගැහෙන සටන් රළ

2017-02-26     (කිත්සිරි කොඩිතුවක්කු)

ආරම්භයේදීම විසඳාගත හැකිව තිබූ ගැටළුවක් අර්බුදයක් බටව පත්ව මෙරට ජන සමාජය කළඹමින් තිබේ. මුල් කාලයේදී මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාවගේ විරෝධයට ලක් වූ සයිටම් පෞද්ගලික අධ්‍යාපනය ආයතනය එවකට පැවති මහින්ද රාජපක්ෂ පාලනයේ ආශීර්වාදය සහ අනුග‍්‍රහය යටතේ අතුඉතිලා වැඩෙන්නට වූ අතර දැන් එම ගැටළුව අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ. සයිටම්ට එරෙහිව විරෝධය දක්වන්නන්ට අනුව එම ආයතනය ආරම්භයේ සිටම නීතිවිරෝධී ආයතනයකි. විශ්වවිද්‍යාලයක් ඇරඹීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අවසරය සයිටම් ආයතනයට හිමිව නැති අතර, ඒ හේතුවෙන් සයිටම් විශ්වවිද්‍යාලය ආරම්භ වන්නේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් වශයෙනි. ඒ අනුව එහි මුල් ලියාපදිංචි නාමය වනුයේ ී්මඑය ්ිස්බ ෂබිඑසඑමඑැ දෙ ඔැජයබදකදටසැි ්බා ඵ්බ්ටැපැබඑ ය. වර්තමානය වන විට ඵ්බ්ටැපැබඑ යන්න ඵැාසජසබැ ලෙස වෙනස් වී තිබේ. වෛද්‍ය උපාධිය ඉගැන්වීම සඳහා නිසි අවසරයක් නොතිබියදීත්, පහසුකම් නොතිබියදීත් මුදලට වෛද්‍ය උපාධිය ලබා දෙන මෙම ආයතනය සම්බන්ධයෙන් මෙරට ජන සමාජය තුළත් ශිෂ්‍ය ප‍්‍රජාව සහ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් තුළත් විරෝධය පැන නගිමින් තිබිණ. මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී රාජ්‍ය බැංකු දෙකක් රුපියල් මිලියන 600ක ණය මුදලක් කිසිදු පොලියක් රහිතව ලබා දී තිබුණු අතර, එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප‍්‍රධාන මැදිහත්කරුවා වී ඇත්තේ එවකට ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂයි. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්.බී. දිසානායකද මෙම නීතිවිරෝධී ආයතනය වෙනුවෙන් අනුමැතිය ප‍්‍රකාශ කර තිබේ. ආරම්භයේ සිටම මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ශිෂ්‍ය ප‍්‍රජාවගේ මෙන්ම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේද යහපත් ප‍්‍රතිචාරයක් නොවූවද, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කරනු ලැබූ පෙත්සමක තීන්දුව ලබා දෙමින් සයිටම්හි අධ්‍යාපනය ලැබූ එම්.බී.බී.එස්. උපාධිධාරීන් හට ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන ලෙස අභියාචනාධිකරණය විසින් ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවට නියෝග කරනු ලැබීය. මෙම තීන්දුවත් සම`ග මේ වන විට රට තුළ සයිටම් සම්බන්ධයෙන් තිබූ විරෝධය වඩ වඩාත් උත්සන්න වෙමින් පවතී. ඒ අනුව දිවයින පුරා විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සිසුන් පංති වර්ජනය කළ අතර, සිවිල් සංවිධාන හා සාමාන්‍ය ජනතාවද සිය විරෝධය ප‍්‍රකාශ කිරීමට පෙරට එමින් සිටිති. මෙම විරෝධයට එක්වන විවිධ වෘත්තිකයන් මෙන්ම වෛද්‍යවරුද මේ වන විට රෝහල් තුළ විරෝධතා ක‍්‍රියාමාර්ග ගනු ලබමින් සිටින අතර සයිටම් විරෝධී සම්මන්ත‍්‍රණ සහ පෙළපාළි රැුසක් මේ වන විට දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක් පුරා පවත්වා තිබේ. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවයත්, අධ්‍යාපනයේ ගුණාත්මකභාවයත් රැුකගැනීම වෙනුවෙන් දියත් කළ අරගලයන්ට දිනෙන් දින විවිධ වෘත්තිකයන් සම්බන්ධ වෙමින් සිටින අතර, අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකම අනුව සෑම දෙනාටම ඒ සඳහා ඉඩ ලැබිය යුතුව ඇතත් ක‍්‍රම ක‍්‍රමයෙන් එම තත්ත්වය අහෝසි වී යාමට එරෙහිව මෙසේ ජනතාව සංවිධානය වෙමින් සිටිති. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වරප‍්‍රසාද ලත් පැලැන්තියකට පමණක් හිමිකර දීමේ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව විරෝධතාකරුවෝ ප‍්‍රකාශ කර සිටින අතර, පවතින ධනේශ්වර ආර්ථික ක‍්‍රමය තුළ අවමයෙන් හෝ ඉතිරිව පවතින පොදු ජන අයිතිවාසිකම් වර්තමානයේදී මුදලට විකිණෙමින් තිබෙන බවට ඔවුහු චෝදනා කර සිටිති. ඒ අනුව සයිටම් විරෝධය හරහා ප‍්‍රකාශ වෙමින් තිබෙනුයේ තම අයිතිවාසිකම් කප්පාදුවට එරෙහි විරෝධයයි. නිදහස් අධ්‍යාපනයට ඇති ඉඩකඩ අහුරමින් මෙරට ශිෂ්‍ය ප‍්‍රජාවගේත්, පොදු ජනතාවගේත් විවිධ වෘත්තිකයන්ගේත් විරෝධය නොතකා හැර ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඉදිරියේදී ඒ සඳහා ගෙවීමට සිදුවන වන්දිය කෙතෙක්ද යන්න සිතා බැලිය යුතුය.


පිටුම්පේ ව්‍යසනය පරදන ජන සටන පණ පෙවිණ

2017-02-19     (කිත්සිරි කොඩිතුවක්කු)

පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටුම්පේ උතුර ග‍්‍රාම නිලධාරී බලප‍්‍රදේශයට අයත් නුරානි කන්දේ සිදු වන පරිසර විනාශයට එරෙහිව ප‍්‍රදේශයේ ජනතාව පසුගිය 11 වැනිදා විරෝධතාවයක නිරත වූහ. කොළඹ දිස්ති‍්‍රක්කයට අයත් මිහිරිගල කන්ද හා පිටුම්පේ කන්ද විනාශ කරමින් පවත්වාගෙන යනු ලබන ගල් කොරිය පිළිබඳව ප‍්‍රදේශයේ ජනතාව විසින් ජනාධිපතිවරයාගේ සිට වගකිව යුතු සියලූ නිලධාරීන් දැනුම්වත් කළ ද, මේ වන තුරු ගැටලූවට පිළිතුරක් නොලැබීම හේතුවෙන් ඒකරාශී වූ ප‍්‍රදේශයේ ජනතාව මෙලෙස විරෝධතාව සංවිධානය කර තිබිණි. ‘බොරු පරීක්ෂණ එපා’, ‘බලධාරීන් මුදලට යට නොවනු’, ‘පිටුම්පේ කන්දට අත නොතබනු’ ආදී විරෝධතා පුවරු රැුගත් උද්ඝෝෂකයෝ හයිලෙවල් මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූහ. මෙම ගල්කොරිය හේතුවෙන් ප‍්‍රදේශයේ ජන ජීවිතයට සිදුව ඇති බලපෑම අති මහත් ය. ප‍්‍රධාන වශයෙන් ම පානීය ජල මූලාශ‍්‍ර සිඳී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර, මෙම කඳු පන්තියෙන් මුදා හැරෙන ජල ධාරාවන් හයකට වැඩි ප‍්‍රමාණයක් මේ හේතුවෙන් විනාශ වී ගොස් තිබේ. ඒ අනුව එම ජල ධාරාවන්ගෙන් පෝෂණය වන කුඹුරු අක්කර දහස් ගණනක් ද විනාශමුඛයට පත්ව තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් අඩි පහකට අඩු ගැඹුරක් ඇති හා අඩු බලයකින් යුත් ගල් වෙඩි දැමීමට නිර්දේශ කර ඇතත්, මේ වන විට එම නිර්දේශයන් නොතකා වඩා ගැඹුරට ගල් වෙඩි දමන බවත්, දිනකට එවැනි ගල් වෙඩි සිය ගණනක් පුපුරුවා හරින බවත් ප‍්‍රදේශවාසීහු ප‍්‍රකාශ කර සිටිති. එමෙන් ම පුපුරුවා හැරීම් හේතුවෙන් ඇති වන දුහුවිල්ල පරිසරය පුරා පැතිර ගොස් තිබේ. පරිසර ඇමතිවරයා වනුයේ ද ජනාධිපතිවරයාමය. එසේ වුව ද, මෙම ජනතාවගේ ඉල්ලීම බීරි අලින්ට වීණා වැයුවා සේ නිෂ්ඵල වී තිබේ. මහින්ද රාජපක්ෂ සේ ම මෛතී‍්‍ර ද අලංකාර වචනවලින් ජනතාව මුළා කිරීමට දක්ෂ බව එම ගැටලූවලට මුහුණ පා සිටින ප‍්‍රදේශවාසීහු ප‍්‍රකාශ කර සිටිති. විරෝධතාව අතරතුරදීම ප‍්‍රදේශවාසීන් විසින් ප‍්‍රාදේශීය ලේකම්වරයාට සන්දේශයක් භාර දීමට කටයුතු සූදානම් කර තිබුණ ද, ප‍්‍රාදේශීය ලේකම්වරයා එම ස්ථානයට නොපැමිණීම හේතුවෙන් විරෝධතාව දිගින් දිගට ම පැවැත්විණි. විවිධ සංවිධානවල නියෝජිතයන් මෙන් ම ප‍්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටි අතර, සුදර්ශනාරාම විහාරාධිපති, බෝපේ ඉන්ද්‍රජෝති, පිටුම්පේ ශී‍්‍ර පූර්වාරාමයේ විහාරාධිපති, මහගම හේමතිලක හිමියන් ද ජනතාව අතර සිිටිනු දක්නට ලැබිණ. පාරිසරික අතින් මෙන් ම ඓතිහාසිකව ද ඉමහත් වැදගත්කමක් උසුලන මෙම ප‍්‍රදේශය එහි ජනතාව ද මේ වන විට මුහුණ පා ඇත්තේ දරුණු ඛේදවාචකයකට ය. පාලකයෝ ජනතා ගැටලූ ඉදිරියේ නෑසූකන්ව සිටිති. නිලධරයෝ ජාවාරම්කරුවන්ගේ වරදාන, වරප‍්‍රසාද හා අල්ලස්වලට යට වී ජනතා ප‍්‍රශ්න මඟහරිමින් කටයුතු කරති. ජනතාවට ඉතිරිව ඇත්තේ, තම අරමුණු වෙනුවෙන් සටන් බිමට අවතීර්ණ වීම පමණි. සිදු කරමින් පවතින මෙම දැවැන්ත විනාශයට එරෙහිව වේවැල්පනාව, මීපේ, දෙකඳුවල සහ මාවතගම ප‍්‍රදේශවාසීහු එක්ව විරෝධතා කි‍්‍රයාමාර්ගවලට එළැඹ ඇත්තේ එහෙයිනි. පාලකයන් හා නිලධාරීන් ජනතාව නොතකා හරින්නේ නම්, ඔවුනට බලපෑම් කළ හැකි කි‍්‍රයාමාර්ග සඳහා ජනතාව පෙළගැසීම නොවැළැක්විය හැකි ය. සිදු විය යුත්තේ ද එයමය.


තී‍්‍ර රෝද රියැදුරෝ වෘත්තීය ගරුත්වය වෙනුවෙන් එක් වෙති

2017-02-12     (කිත්සිරි කොඩිතුවක්කු)

දශක ගණනාවක කාලයක් පුරා තී‍්‍ර රෝද රථ මෙරට ජනතාවගේ ජන ජීවිතය හා බද්ධ වී හමාර ය. එය නියාමනය කිරීම වෙනුවෙන් රාජ්‍ය මැදිහත්  වීමක් මෙතෙක් සිදු නොවුව ද, දෛනික ජීවිතයේ දී තී‍්‍රරෝද රථය පොදු ප‍්‍රවාහණ මාධ්‍යයක් තරමට ම වර්තමානය වන විට අපගේ ජීවිත හා බද්ධ වී පවතී. සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට ලියාපදිංචි තී‍්‍ර රෝද රථ සංඛ්‍යාව ලක්‍ෂ 14 ඉක්මවන බව ගණන් බලා තිබේ. එයින් තී‍්‍ර රෝද රථ ලක්‍ෂ 10ක පමණ ප‍්‍රමාණයක් කර්මාන්තයක් වශයෙන් නියැළෙන පිරිස අත පවතින අතර, ඒ අනුව ප‍්‍රවාහණ කේෂ්ත‍්‍රයේ පුළුල් වපසරියක් තී‍්‍ර රෝද රථ කර්මාන්තය විසින් ආවරණය කරනු ලබන්නේ ය. එසේ වුව ද, මෙම සේවාව නියාමනය කිරීම සඳහා කිසිදු ආයතනයක් මේ වන තෙක් පිහිටුවා නොමැති අතර, එය සිදු විය යුතු වනුයේ, අදාළ පළාත් සභාව විසින් බවට මෙම කර්මාන්තයේ නියුතු වූවන්ගේ අදහසයි. තී‍්‍ර රෝද රථ සේවාවන් පවත්වාගෙන යාම සඳහා ස්ථාන ලබා දීම අදාළ පළාත් පාලන ආයතන හරහා සිදු විය යුතු බව තී‍්‍ර රෝද රථ වෘත්තිකයෝ ප‍්‍රකාශ කර සිටිති. නමුත්, ඒ සඳහා ආණ්ඩුවට මේ තාක් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව වෘත්තීය තී‍්‍ර රෝද රථ රියැදුරු සංගමය වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියි. තම වෘත්තීය ගරුත්වය අපේක්ෂාවෙන් මෙන් ම ජනතාවට ගෞරවනීය සේවාවක් ලබා දීමේ අරමුණින් වෘත්තීය තී‍්‍ර රෝද රථ සේවා සංගමයෙහි නියෝජිත සමුළුව පසුගිය 06 වැනිදා කොළඹ මහජන පුස්තකාලයේ දී පැවැත්විණි. තී‍්‍ර රෝද රථ ධාවනයෙහි නියුතු වෘත්තිකයන් විසින් තම තී‍්‍ර රෝද රථ නැවතුම්පොළවලට අදාළව යම් යම් සංගම් පිහිටුවාගෙන තිබුණ ද, ඒ සියල්ල එකට ගොනු කර ගත් සංවිධානයක් මේ වන තෙක් පිහිටුවාගෙන නොමැති අතර, බොහෝ තී‍්‍ර රෝද රථ සංගම් අදාළ ප‍්‍රදේශයේ පොලිස් ස්ථානය සම්බන්ධව පිහිටුවනු ලැබූ සංගම් වේ. ඒවායින් ද බොහෝ තී‍්‍ර රෝද රථ සංගම් කි‍්‍රයාකාරී මට්ටමේ නොපවතින ඒවා ද වේ. එවන් තත්ත්වයක් යටතේ තම වෘත්තිය කරගෙන යාමේ දී මුහුණ දීමට සිදු වන නොයෙකුත් දුෂ්කරතාවන්වල දීත්, තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ දීත් තමන් වෙනුවෙන් නිශ්චිත සංවිධානයක් නොමැති වීම ඔවුනට මේ තාක් මුහුණ දීමට සිදු වූ ගැටලූවක්ව පැවැතිණි. තී‍්‍ර රෝද රථ සේවාව හා සම්බන්ධ වක‍්‍ර සේවාවන් වන සේවා සපයන ආයතන හා අමතර කොටස් සපයන ආයතන, තී‍්‍ර රෝද රථ සම්බන්ධීකරණ ආයතන හා එම වෘත්තිය වෙනුවෙන් ණය දෙන සමිති, සමාගම් ආදී ජාලයක් රට පුරා කි‍්‍රයාත්මක වන අතර, ඒ අනුව ගණන් බැලීමේ දී ලක්ෂ තිහක, හතළිහක වැනි ජනතාවක් මෙම කර්මාන්තය හා සෘජුව මෙන් ම වක‍්‍රව සම්බන්ධ වී සිටිති. ඒ අනුව සැලකූ විට ජනතාව හා සම්බන්ධ සේවාවන් නියාමනය කිරීම වෙනුවෙන් රජයේ මැදිහත් වීමක් නොවීම එක් අතෙකින් එම සේවාව නොසලකා හැරීමක් වන අතර, මඟී ප‍්‍රවාහණ සේවාව වෙනුවෙන් තී‍්‍ර රෝද රථ මඟින් වන කාර්යභාරය හෑල්ලූවට ලක් කිරීමක් ද වේ. වෘත්තීය තී‍්‍ර රෝද රථ සංගමය මුල් පියවර තබනුයේ, එම වෘත්තීය ගරුත්වය වෙනුවෙනි. සමාජය තුළ තී‍්‍ර රෝද රථ වෘත්තිකයා පිළිබඳව ගොඩනැඟී ඇති අවර ගණයේ අදහස්වලට වෘත්තීය වෙනුවෙන් ගෞරවයක් හා සේවය පිළිබඳ විශ්වසනීයත්වයක් ඇති කිරීම මෙම නියෝජිත සමුළුවෙහි අරමුණ වී තිබිණි. දිවයිනේ තී‍්‍ර රෝද රථ වෘත්තිකයන් විශාල පිරිසක් සහභාගී වූ මෙම අවස්ථාවෙහි එහි ප‍්‍රධාන දේශනය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, කේ. ඞී. ලාල් කාන්ත විසින් පවත්වනු ලැබූ අතර, මෙම නියෝජිත සමුළුවට සහාය දක්වමින්, සමස්ත ලංකා ප‍්‍රවාහණ සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ සහ සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් එස්. පී. විතානගේ ද සහභාගී වී සිටියහ.


මිනිරන් කණින දඹරන් ජීවිත

2017-02-05     (කිත්සිරි කොඩිතුවක්කු)

ලංකාවේ මිනිරන් කර්මාන්තය ආරම්භ වන්නේ 19 වැනි සියවස මුල් භාගයේ දී පමණ අරුක්ගම්මන ගම්මානයේ බෝගල කඳුවැටියෙන් මතු වූ ඉල්ලමකිනි. කි‍්‍රස්තු වර්ෂ 1800දී පමණ අරුක්ගම්මන ප‍්‍රදේශයට පැමිණි වෙළෙන්දන් පිරිසක් අතට ප‍්‍රදේශයේ වැසියන් විසින් කරන ලද කැණීමක දී මතු වූ මිනිරන් කුට්ටියක් හමු වීමත් සමඟ මෙම ඛනිජ විශේෂය මිනිරන් ලෙසට නිශ්චිතව හඳුනාගෙන තිබේ. ඒ සමඟ ම එම වෙළෙඳ පිරිස හා එවකට සිටි විදේශ්ිකයන් අතර තිබූ සම්බන්ධය හේතුවෙන් කර්මාන්තයක් වශයෙන් මිනිරන් කැණීම ආරම්භ වී තිබේ. පෙර දී මිනිරන් සෙවීම සඳහා කැණීම් කරන ලද වළවල් මහා බෝගල සහ පුංචි බෝගල යනුවෙන් හඳුන්වා දී ඇති අතර, ප‍්‍රදේශය පුරා තැනින් තැන කණින ලද මිනිරන් පතල් රාශියක් එවකට දක්නට ලැබුණු බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. ක‍්‍රමයෙන් වර්ධනය වුණු මිනිරන් කර්මාන්තය ප‍්‍රධාන පතල ලෙස බෝගල පතල 1847දී ලියාපදිංචි කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ. මිනිරන් කැණීමේ දී ආරම්භයේ අනුගමනය කර ඇති ක‍්‍රමය වනුයේ, හැකි පමණ පහසුවෙන් ඉල්ලම කඩා ගැනීම වන අතර, තට්ටු සවි කිරීමක් හෝ නැවත පිරවීමක් එකල සිදු නොවූ බවට ඉතිහාසයේ සඳහන් වේ. එවකට මිනිරන් පතල්හි කම්කරුවකු වශයෙන් සේවය කර පසුව එම පතල් මිල දී ගැනීමෙන් ධනවතකු වූ කනෝනිස් බාස් හෙවත් ප‍්‍රනාන්දු නම් අය විසින් බි‍්‍රතාන්‍ය ජාතික කැණීම් විශේෂඥයකු තම පතල්හි කැණීම් කටයුතු සඳහා සහභාගී කරවාගෙන ඇති අතර, කි‍්‍රස්ටෝපර් රෙනෝල්ඞ් නම් වන ඔහු ගැඹුරට ඉල්ලම් හෑරීමේ දී සවි කිරීම්වලින් තොරව කැණීම් කටයුතු කළ නොහැකි බව වටහාගෙන තිබේ. ඒ අනුව කැණීම් කටයුතු පිළිබඳ තම විශේෂඥ දැනුම බෝගල පතලට අනුගත කර පතල සඳහා තට්ටු කැපීමේ සහ පිරවීමේ ක‍්‍රමවේදය හඳුන්වා දී තිබේ. එම හඳුන්වා දීම නොවන්නට මෙරට මිනිරන් පතල් කර්මාන්තය මීට වසර ගණනාවකට පෙර අකී‍්‍රය වන්නට ඉඩ තිබුණු බව ඉතිහාසය සඳහන් කරයි. ලෝකය තුළ පතල් කර්මාන්තය දියුණු වෙමින්, නව තාක්‍ෂණය සහ අංගයන් එක් වෙද් දී, බෝගල පතල ද ක‍්‍රමයෙන් නවීන තාක්‍ෂණයට අනුගත වී තිබේ. ඒ අනුව කටුව සහ මිටිය භාවිතයෙන් ඉවත් වී ඇති අතර, ඒ වෙනුවට දියමන්ති විදුම් යන්ත‍්‍ර ද, මිනිරන් ගොඩ ගැනීම වෙනුවෙන් අතින් කි‍්‍රයා කළ දබරය වෙනුවට විදුලි සෝපානය ද, ඉටිපන්දම් හා භූමිතෙල් ලාම්පු සහ ගෑස් ලාම්පු ද පසු කර මේ වන විට විදුලි ලාම්පු ද පතල් කර්මාන්තය වෙනුවෙන් භාවිතයට ගැනෙමින් තිබේ. ආරම්භයේ දී මෙරට මිනිරන් කැණීම් කර්මාන්තය මෙරට ධනපතියන් අතර කේන්ද්‍රගත වී තිබූ අතර, 1972දී පෞද්ගලික ව්‍යාපාර ජනසතු කිරීම යටතේ බෝගල පතල රජයට පවරා ගනු ලැබී ය. ඉන් අනතුරුව බෝගල පතල රාජ්‍ය මිනිරන් සංස්ථාව යටතේ පාලනය වී තිබේ. පසුව එම සංස්ථාව රාජ්‍ය පතල් හා ඛනිජ සම්පත් සංවර්ධන සංස්ථාව බවට පත්ව තිබේ. 1977න් පසුව ඇරඹි විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය යටතේ කි‍්‍රයාත්මක පෞද්ගලිකකරණ කි‍්‍රයාවලියේ ගොදුරක් බවට පත් වුණ බෝගල පතල එවකට පාලනාධිකාරිය විසින් පාඩු ලබන තත්ත්වයට පත් කරනු ලැබ 2000 වර්ෂයේ දී පැවැති රජය මඟින් බෝගල පතල ජර්මනියේ ‘ග‍්‍රැෆයිට්...’ සමාගමට විකුණා දමනු ලැබී ය. එදා සිට අද දක්වා ම බෝගල පතලේ මෙහෙයුම් කටයුතු සිදු කරනුයේ එම සමාගම විසින් වන අතර, වඩාත් අවදානම්කාරී රැකියාවක් වන මෙම පතල් රැකියාවෙහි නිරත සේවකයන් විටින් විට තම අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරනු ඉතිහාසය පුරා දැක ගත හැකි විය. පෞද්ගලිකකරණය කිරීමෙන් අනතුරුව පතලෙහි පරිපාලනය මෙහෙයවන අදාළ සමාගම සේවක අයිතිවාසිකම් නොතකා කටයුතු කරනු ලබන බවට සේවකයන් චෝදනා කරන අතර, ලාභය මුල් කර ගත් ආයතනයක් සේවක සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරනු ඇත යන්න අපේක්ෂා කළ නොහැකි වුවත්, තම වෘත්තීය අයිිතිවාසිකම් වෙනුවෙන් ඔවුහු නොයෙක් විට අරගල කළහ. පෞද්ගලික අංශයට පැවරීමෙන් අනතුරුව එතෙක් සේවකයන් සම්බන්ධයෙන් අනුගමනය කළ ප‍්‍රතිපත්තීන්වල යම් යම් වෙනස්කම් සිදුව ඇති අතර, එහි දී වැටුප් පිළිබඳ ගැටලූ මෙන් ම තම ජීවිත සුරක්‍ෂිතභාවය පිළිබඳ ගැටලූ ද සාකච්ඡුාවට ලක් කර තිබේ. සේවකයන්ගේ මෙම ගැටලූ සම්බන්ධයෙන් කළ සාකච්ඡුාවල දී අන්තර් සමාගම් සේවක සංගමයෙහි මැදිහත් වීම ද සිදු වූ බව බෝගල් පතල් සේවකයෝ ප‍්‍රකාශ කර සිටිති. වර්තමානය වන විට පතලෙහි පාලනාධිකාරිය විසින් සේවකයන් සම්බන්ධයෙන් ශ‍්‍රම සූරාකෑමේ වැඩපිළිවෙළක් අනුගමනය කරන බවට සේවකයන් චෝදනා කරන අතර, ආයතනය පෞද්ගලිකකරණය කිරීමට පෙර කැණීම් කටයුතු කිරීමේ දී සේවකයන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස එක ස්ථානයක සේවයට යොදවා ඇති අතර, මේ වන විට එම සංඛ්‍යාව දෙදෙනකු දක්වා අඩු කර ඇති බවට ඔවුහු චෝදනා කරති. ඒ හේතුවෙන් අනතුරක් පිළිබඳව විමසිලිමත් වීමේ අවස්ථා අව ම වී ඇති බව පවසන පතල් සේවකයන් සේවක ජීවිත අනතුරට ලක් වීමේ අනතුර වැඩි වී ඇති බව ප‍්‍රකාශ කර සිටිති. මෙයට දින කීපයකට පෙර දී ද බෝගල පතල තුළ සිදු වූ අනතුරක් හේතුවෙන් එහි වැඩ පරීක්ෂකවරයකු වූ ප‍්‍රදීප් කුමාර යන අය ජීවිතක්ෂයට පත් වූ අතර, මෙම මරණයට අදාළ වගකීම ආයතන පරිපාලනය විසින් භාර ගත යුතු බවට සේවකයෝ චෝදනා කරති. පතල් කර්මාන්තය යනු ස්වභාවයෙන් ම අනතුරුදායක රැුකියාවක් වන අතර, සේවක ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ආයතනය විසින් අනුගමනය කළ යුතු ආරක්‍ෂක ක‍්‍රමවේද නිවැරැුදිව සපුරා තිබේ ද යන්න විමසා බැලිය යුතු ය. සෑම ආයතනයක ම ඵලදායීතාවය, සේවක සුභසාධනය හා සුරක්ෂිතතාව මත රැුඳී පවතින බැවින්, ඕනෑ ම ආයතනයක් තම සේවකයන් සම්බන්ධයෙන් වගකීම දැරීම අනිවාර්යයක් වේ. ඒ අනුව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වැනි ආයතනයක නිරන්තර නියාමනයක් මෙවන් අවදානම් සහිත කැණීම් කටයුතුවල නිරත වන සේවකයන් වෙනුවෙන් පවත්වාගෙන යාමට අදාළ ආයතන බලධාරීන් උත්සුක වන්නේ නම්, මෙවැනි අවදානම් සහගත වෘත්තීන්හි නිරත වන දහස් ගණනක් වූ සේවකයන්ගේ ජීවිත සුරක්ෂිතතාව වෙනුවෙන් ගනු ලබන යහපත් පියවරක් වනවාට සැක නැත.


ඊ.පී.එෆ්. කොල්ලයට එරෙහි ජන සටන

2017-01-29     (කිත්සිරි කොඩිතුවක්කු)

කුප‍්‍රකට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ දී සේවක අර්ථසාධක අරමුදලට රුපියල් කෝටි 1,500ක පාඩුවක් සිදු කිරීමට විරෝධය පළ කරමින්, දැවැන්ත උද්ඝෝෂණයක් පසුගිය 19 වැනිදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි. සේවක අර්ථසාධක අරමුදල යනු විශ‍්‍රාම වැටුප් නොලබන මෙරට අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක, සේවිකාවන්ගේ මුදලින් ගොඩනැඟුණු විශාලතම විශ‍්‍රාම අරමුදල වන අතර, ජීවිතයේ සැඳෑ සමයේ දී විශ‍්‍රාම ලැබීමෙන් අනතුරුව තම දිවිපැවැත්ම වෙනුවෙන් එම සේවකයන් බලාපොරොත්තු තබා ඇත්තේ, සේවක අර්ථසාධක අරමුදල කෙරෙහි ය. කෙසේ වුව ද, මේ වන විට එම අරමුදල සතු මුදල් කුප‍්‍රකට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ දී අවභාවිත වී ඇති බවට පැහැදිලි තොරතුරු සාක්‍ෂි සහිතව හෙළිදරවු වී හමාර ය. එම ගනුදෙනුවේ දී වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ගජමිතුරු, හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් හා ඔහුගේ බෑනණුවන් වන අර්ජුන් ඇලෝසියස් සතු පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බැඳුම්කර මිල දී ගැනීමට අදාළව තම දේශපාලන බලපුළුවන්කාරකම් භාවිත කරමින්, සේවක අර්ථසාධක අරමුදලෙහි මුදල් පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් බැඳුම්කර මිල දී ගැනීම සඳහා යොදවා තිබේ. මුලින් ද සඳහන් කළ පරිදි සේවක අර්ථසාධක අරමුදල ගොඩනැඟී ඇත්තේ, මෙරට වැඩ කරන ජනතාවගේ දායකත්වයෙනි. මේ වන විට එහි දායකයන් සංඛ්‍යාව 16,00,000 ඉක්මවන බව වාර්තා වේ. ඒ අනුව එම දායකයන් හරහා අරමුදල වෙත ගලා එන මුදල් සම්භාරය සුළුපටු නොවන බව කිව යුතු නැත. එලෙස අරමුදල වෙත ගලා එන මුදල් සේවක අර්ථසාධක අරමුදල විසින් නැවත ආයෝජනය කිරීමෙන් ලැබෙන ප‍්‍රතිලාභවලින් දායකයන්ගේ පොලිය ඇතුළු ප‍්‍රතිලාභ ලබා දීම සිදු කරනු ලැබේ. ඒ අනුව 2015 මහ බැංකු වාර්තාවට අනුව මේ වන විට අරමුදලෙහි කි‍්‍රයාකාරී ගිණුම් සංඛ්‍යාව මිලියන 2.4කි. 2015 වර්ෂයේ දී දායක මුදල් ලැබීම රුපියල් කෝටි 10,250ක් ඉක්මවා තිබේ. එමෙන් ම සමස්ත වත්කම් රුපියල් කෝටි 1,66,490ක් බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල යනු දිනෙන් දින දායකත්වය සහ සාමාජික මුදල් ඉහළ යන අරමුදලක් වනුයේ, වර්තමානය වන විට ද, බොහෝ ආයතනවල සේවකයන් සඳහා අරමුදලෙහි දායකත්වය ලබා නොදී ඇති තත්ත්වයක් තිබිය දීත් ය. සේවක අර්ථසාධක අරමුදල විසින් තම මුදල් ආයෝජනය කරනු ලබන එක් ආකාරයක් වනුයේ, මහ බැංකු බැඳුම්කර මිල දී ගැනීම ය. මහ බැංකු බැඳුම්කර මිල දී ගැනීම සහ විකිණීම සඳහා අතරමැදි තැරැුවුකාර ආයතන කිහිපයක් ම පවතින අතර, එම ආයතන මහ බැංකුවේ ලියාපදිංචිය ලබා ගැනීම කළ යුතු වේ. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල ද මහ බැංකුවේ බැඳුම්කර මිල දී ගැනීම සඳහා ලියාපදිංචි තැරැුවුකාර ආයතනයක් ලෙස කි‍්‍රයාත්මක වේ. බැඳුම්කර මිල දී ගන්නා බොහෝ තැරැුවුකාර ආයතන තමන් මිල දී ගත් බැඳුම්කර තෙවන පාර්ශ්වයක් සඳහා විකිණීම සිදු කරනු ලබයි. ඒ අනුව ඔවුනට මහ බැංකුවෙන් ගෙවන පොලියට අඩු පොලී ප‍්‍රතිශතයක් හිමි වේ. සේවක අර්ථසාධක අරමුදල විසින් ද බැඳුම්කර මිල දී ගන්නා නමුදු, තමන් මිල දී ගත් බැඳුම්කර තෙවන පාර්ශ්වයක් වෙත අලෙවි නොකර තමා සන්තකයෙහි ම තබා ගනිමින්, එයට අදාළ පොලිය ප‍්‍රතිලාභයක් ලෙස ලබා ගැනීමට එම ආයතනය විසින් මේ තාක් කටයුතු කරනු ලැබී ය. ඒ අනුව එම අරමුදලට මහ බැංකුව විසින් ගෙවනු ලබන සම්පූර්ණ පොලිය හිමි විය. පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ද බැඳුම්කර ගනුදෙනුවේ දී එවැනි ම තැරැුවුකාර සමාගමක් ලෙස කි‍්‍රයාත්මක වන අතර, ආරම්භක අවස්ථාවේ දී එම සමාගමට බැඳුම්කර මිල දී ගැනීම සඳහා ආයෝජනය කිරීමට මේ සා දැවැන්ත මුදලක් නොමැතිව සිට ඇති බවත්, ඒ සඳහා ඔහු සේවක අර්ථසාධක අරමුදලට අයත් මුදල් තම දේශපාලන බලපුළුවන්කාරකම මත යොදවාගෙන ඇති බවටත් මේ වන විට ඔප්පු වී තිබේ. මේ හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට සිදු වී ඇති පාඩුව මිලියන 15,000ක් පමණ වන බවට පසුගිය 19 වැනිදා උද්ඝෝෂණය සංවිධානය කළ අන්තර් සමාගම් සේවක සංගමය පවසයි. එම ගනුදෙනුවේ දී පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් මිල දී ගත් බැඳුම්කර දෙවැනි වරට නැවත සේවක අර්ථසාධක අරමුදල වෙත ම විකුණා ඇති බවට තොරතුරු හෙළිදරවු වී තිබේ. මේ අනුව සේවක අර්ථසාධක අරමුදල විසින් ද්විතීයික වෙළෙඳපොළ බැඳුම්කර මිල දී ගැනීම හේතුවෙන් ඉහත සඳහන් මිලියන 15,000ක මුදල අරමුදලට අහිමි වී තිබේ. සේවක අර්ථසාධක අරමුදල යනු සෘජුව ම මහා භාණ්ඩාගාරයේ මුදල් මණ්ඩලයක භාරකාරත්වය යටතේ පවතින අරමුදලකි. 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ එම භාරකාරත්වය පවරා ඇති අතර, අරමුදලෙහි සාමාන්‍ය පරිපාලනය කම්කරු කොමසාරිස් වෙත පැවරී තිබේ. මේ අනුව මෙම කොල්ලකාරී කි‍්‍රයාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් ද සෘජුව ම වගකිව යුතු චූදිතයකු බවට පත් වේ. මේ හේතුවෙන් අන්තර් සමාගම් සේවක සංගමය විසින් වත්මන් මහ බැංකු අධිපතිවරයාගෙන් මේ අයථා කි‍්‍රයාවට අදාළ තොරතුරු විමසීමක් කළ අතර, අවස්ථා කිහිපයක දී ම මේ පිළිබඳව කරන ලද විමසීම්වලට වත්මන් මහ බැංකු අධිපතිවරයාගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බව ද වාර්තා වේ. ඉහත බැඳුම්කර ගනුදෙනුවේ දී පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මිල දී ගන්නා ලද රුපියල් කෝටි 27,000ක බැඳුම්කරවලින් සියයට 95ක් ම නැවත විකුණා ඇත්තේ, සේවක අර්ථසාධක අරමුදල වෙත ය. ඒ හේතුවෙන් පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මාස 14ක් වැනි කෙටි කාලයක් තුළ දී රුපියල් මිලියන 13,000ක් වැනි අධික ලාභයක් ලබන විට සේවක අරමුදල විසින් ඉහත සඳහන් පාඩුව අත් කරගෙන තිබේ. ඉතාමත් කෙටි කාලයක් තුළ දී පර්පැචුවල් සමාගමෙහි වත්කම් වැඩි වීම පැහැදිලිව දක්නට ලැබෙන අතර, බැඳුම්කර මිල දී ගන්නා අනෙකුත් සමාගම්වල වාර්ෂික වත්කම් වැඩි වීම සියයට 31ක් පමණ වන විට දී පර්පැචුවල් ටෙ‍්‍රෂරීස්හි වත්කම් වැඩි වීම සියයට 1,853කින් වැඩි වී තිබේ. මේ ආයතනය ලැබූ අධික ලාභය කොතෙක් ද යන්න ඒ අනුව නිගමනය කළ හැක. මෙම ගනුදෙනුව හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට ඇති වූ අති දැවැන්ත පාඩුව පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් හෝ නොවීම හේතුවෙන් අරමුදලෙහි දායක සේවකයෝ මේ වන විට අරගල බිමට අවතීර්ණව සිටිති. මෙම වංචාවට හවුල් වූ හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝසියස් පැහැදිලිව ම අගමැති රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන ආරක්‍ෂාව ලබන බවට ඔවුහු චෝදනා කරති. මෙම තත්ත්වයට එරෙහිව පසුගිය 19 වැනිදා විරෝධතා පා ගමනකින් ඔවුහු මහ බැංකුුව වෙත පැමිණි අතර, එහි දී මහ බැංකු අධිපතිවරයා විසින් සතියක් ඇතුළත දී අදාළ විමසීම්වලට පිළිතුරු ලබා දෙන බවට එකඟ වී තිබේ. සේවක අර්ථසාධක අරමුදලට සිදු වී ඇති පාඩුව මෙතැනින් නතර නොවී ඉදිරියට වර්ධනය වෙමින් යන තත්ත්වයක් ඇති බවට තොරතුරු වාර්තා වන අතර, ඒ හේතුවෙන් ම මෙම අරමුදල රැක ගැනීමට මෙරට වැඩ කරන ජනතාවගේ පූර්ණ මැදිහත් වීමක් සිදු කළ යුතු වීම අනිවාර්යයක් බවට පත්ව තිබේ.


ආණ්ඩුව බොරු ප‍්‍රකාශ කරමින් කල් අදිනවා (මහේෂ් අඹේපිටිය)

2017-01-22     (කිත්සිරි කොඩිතුවක්කු)

බාහිර උපාධිය කප්පාදුවට ලක් කර ඇතැයි කියන ඔබලාගේ ප‍්‍රකාශය පැහැදිලි කරන්න. මෙතැන දී මුලින් ම සඳහන් කරන්න තියෙන්නේ 2016 අගෝස්තු මස 31 වැනිදා නිකුත් කරපු චක‍්‍රලේඛයකින් යෝජනා කළා බාහිර උපාධිය හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ලබන්නේ අදාළ වර්ෂයේ අභ්‍යන්තර සිසුන් බඳවා ගන්නා සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් කියලා. ඒ අනුව 2014 වර්ෂයේ බාහිර උපාධිය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ 14,000ක් ඉල්ලූම් කරලා තියෙනවා. නමුත්, එම වසරේ අභ්‍යන්තර සිසුන් බඳවාගෙන ඇත්තේ, 2,400 දෙනෙකු පමණයි. ඒ අනුව බාහිර සිසුන්බඳවා ගැනීමත් එම අගයම වෙන කොට සිසුන් 11,600ක් පමණ දෙනාට අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය නැත වෙනවා. මේ තත්ත්වය සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියට ම පොදුයි. 2010 ඔක්තෝබර් මාසයේ ගෙනා චක‍්‍රලේඛයකින් කිව්වේ, විශ්විද්‍යාලයට බඳවා ගන්නා සංඛ්‍යාව මෙන් දෙගුණයක් බාහිර උපාධිය සඳහා බඳවා ගන්නවා කියලා. එදා ඒකට එරෙහිව අරගල ඇති වුණා ම චක‍්‍රලේඛය අහෝසි නොකර එහෙමම තියෙන්න ඇරියා. ඒ අතරතුරේ 2010 ඔක්තෝබර්වල ඉඳලා 2012 ජුලි මාසය දක්වා එවකට පැවැති ආණ්ඩුව විසින් බාහිර උපාධිය සඳහා බඳවා ගැනීම් සම්පූුර්ණයෙන් ම නතර කළා. ඒ වන විට බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වීමේ ගාස්තුව රුපියල් 6,500.00යි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ඒක රුපියල් 65,000.00ක් දක්වා වැඩි කළා. ඒ අනුව චක‍්‍රලේඛය අහෝසි නොකර ගාස්තු වැඩි කිරීම සිදු කරනු ලැබුවා. කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය හැදෑරීමේ ගාස්තුව රුපියල් 75,800.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රටේ ඉන්න සාමාන්‍ය ජනතාවගේ දරුවකුට රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගන්න තියෙන අවස්ථාව අහිමි කරලා තියෙනවා. ඒ වාගේ ම උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට යොමු කිරීමක් වක‍්‍රකාරව සිදු කෙරෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ වන විට අපි අරගල කරමින් ඉල්ලා සිටින්නේ 2014 වර්ෂයට අදාළව සියලූ ම විශ්වවිද්‍යාලවල බාහිර උපාධිය සඳහා ඉල්ලූම් කර ඇති සිසුන් කප්පාදුවකින් තොරව බඳවා ගන්න කියලා. ඒ වාගේ ම 2015 වර්්ෂය සඳහා ලියාපදිංචි අපේක්‍ෂාවෙන් සිටින අයට පුවත් පත් දැන්වීමක් පළ කරලා බඳවා ගැනීමට අදාළ කි‍්‍රයාමාර්ග ගන්න තුන්වැනි කාරණාව තමයි, 2016/13 කියන චක‍්‍රලේඛය අහෝසි කරන්න කියන එක. මේවා තමයි, අපේ ප‍්‍රධාන ඉල්ලීම්. ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡුාවේ ප‍්‍රතිඵල මොනවා ද? පසුගිය නොවැම්බර් 22 වැනිදා ලබා දුන් සාකච්ඡුාවේ දී එතුමා කියපු දෙයක් තමයි, අධ්‍යාපන අයිතිය අහෝසි කරන එක තමාගේ ප‍්‍රතිපත්තිය නොවෙයි කියන එක. සති දෙකක් ඇතුළත දෙපාර්ශ්වයටම බලපාන තීන්දුවක් දෙනවා කියලා එතුමා ඒ වෙලාවේ කිව්වා. නමුත්, ජනවාරි මස 06 වැනි දින වන කොට එයාගේ ප‍්‍රකාශය කරලා සති දෙකක් ඉවරයි. නමුත්, එතුමා අපේ මේ ගැටලූව සම්බන්ධයෙන් මේ වන තෙක් නිල ප‍්‍රකාශයක් කරලා නැහැ. නමුත්, වෙනත් බාහිර පුද්ගලයන් ලවා ප‍්‍රකාශයන් කරනවා හැරුණු කොට කිසිදු නිල දැනුම් දීමක් කරලා නැහැ. නමුත්, තමන් පිළිබඳව විශ්වාසය තියන්න ගැටලූව ඉක්මනින් ම විසඳනවා කියලා ඒ අය කියනවා. මේ වෙන කොට සිදු වෙමින් තිබෙන්නේ කල් අරිමින් කටයුතු කරන ක‍්‍රමයක් කියලා තමයි, අපට හිතෙන්නේ. අපි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කරලා ලිපියක් භාර දෙන්න කටයුතු කරලා තියෙනවා. අපේ ප‍්‍රධාන ඉල්ලීම් තුනට අදාළව විසඳුමක් දෙන්න කියලා. මේ වෙන කොට විවිධ අසත්‍ය ප‍්‍රකාශ විවිධ මාධ්‍ය හරහා නිකුත් වෙමින් තියෙනවා. ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දෙනවා වෙනුවට විවිධ ප‍්‍රකාශ නිකුත් කරමින් කල් ඇරීමේ කි‍්‍රයාමාර්ග අනුගමනය කරමින් ආණ්ඩුව කටයුතු කරනවා. බාහිර උපාධිය කප්පාදු කිරීම කියන එක කුමන කාරණා සමඟ ගැටගැසුණු එකක් විදියට ද දකින්නේ ? මේක අධ්‍යාපන අයිතිය රැුක ගැනීම වෙනුවෙන් කරන අරගලයක්. උපාධිය සඳහා ලියාපදිංචි වෙන හැම කෙනෙකු ම මුදල් ගෙවලා ඉගෙන ගන්න අය. විශ්වවිද්‍යාලත් විශාල වශයෙන් බාහිර උපාධිය මඟින් මුදල් උපයා ගන්නවා. ඒ වාගේ ම ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් ඉගෙන ගන්නේ වෙනත් බාහිර ආයතනවලට විශාල වශයෙන් මුදල් ගෙවලා. නමුත්, ඒ අයිතියත් නැති කරනවා කියන්නේ, ඒක විශාල අසාධාරණයක් විදියට තමයි, අපි දකින්නේ. වාර්ෂිකව උසස් පෙළට 1,50,000ක් පමණ දෙනෙකු සහභාගී වෙනවා. විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලබන්නේ එයින් 25,000ක් පමණ දෙනෙකු පමණයි. 1,25,000 දෙනෙකු උසස් පෙළ සමත් වුවත්, කඩඉම් ලකුණු හේතුවෙන් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය අහිමි වෙනවා. මේ අයට උපාධියක් ලබා ගන්න තියෙන ඉඩකඩ ඇහිරීම තමයි, මේ සිද්ධ වෙමින් තියෙන්නේ. ඒ වාගේ ම රැුකියාවක නියුතු කෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් ඉහළ නංවා ගැනීම සඳහා උපාධියක් හැදෑරීමට ඇති අයිතිය වගේ ම ඉඩකඩත් නැති කරලා දමන්න කටයුතු කිරීමක් තමයි, මේ අනුව සිද්ධ වෙන්නේ. මේක එක අතකින් මානව අයිතිවාසිකම් පැහැර ගැනීමක් කියලත් කියන්න පුළුවන්. ඒ නිසා අපේ ප‍්‍රධාන ම ඉල්ලීමක් තමයි, නිදහසේ අධ්‍යාපනය ලැබීමට තියෙන අයිතිය තහවුරු කරන්න කියන එක. මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ගන්නා කි‍්‍රයාමාර්ග මොනවා ද? ජනවාරි 18 වැනිදා අපි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට හා ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක් භාර දෙන්න කටයුතු කළා. මේ තරම් කාලයක් මේ ගැටලූව සාකච්ඡුා කරමින් ඇවිත් තියෙනවා. අපි ඒවාට සහභාගී වෙලා ඇහුම්කන් දීලත් තියෙනවා. ඒ වාගේ ම අරගල කරලත් තියෙනවා. ඒ සටන් හා අරගලවල ප‍්‍රතිඵලයක් හැටියට තමයි, හැම සාකච්ඡුාවක් ම අපට ලැබුණේ. මේ සන්දේශයට ආණ්ඩුව අවධානය යොමු නොකළොත්, මින් ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා රටේ ශිෂ්‍ය ප‍්‍රජාව එකතු කරමින්, කොළඹ නගරයට මේ සියලූ දෙනා ම එකතු කරලා දැවැන්ත උද්ඝෝෂණයක් කරන්න. පසුගිය කාලය පුරා ම අපි දිස්ති‍්‍රක් මට්ටමින් උද්ඝෝෂණ මාලාවක් කළා. එතැනින් එහාටත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක නොවුණොත්, රටේ ම සිවිල් සංවිධාන සහ දේශපාලන පක්‍ෂ වගේම මේ යහපාලනය පිහිටුවා ගන්න කි‍්‍රයා කරපු සියලූම බලවේග, පුද්ගලයන් හා ආයතන සියල්ල දැනුම්වත් කරලා ඉදිරියේ දී කරන්න පුළුවන් දැවැන්ත බලපෑමක් ආණ්ඩුවට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේක සමාජයේ පොදු ප‍්‍රශ්නයක් බවට පත් කරන්න අපි කි‍්‍රයා කරනවා.


වනය නසා ජලාශ හදන රටක මොරගහකන්දේ ගිලෙන ජනතා සිහින

2017-01-15     (කිත්සිරි කොඩිතුවක්කු )

මෛතී‍්‍ර මොරගහකන්ද සිහිනය සැබෑ කර ගත්තේ ය. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙහි විශාල ම ජලාශය වශයෙන් හැඳින්වෙන මොරගහකන්ද ව්‍යාපෘතියෙහි වැඩ ආරම්භ වූයේ දසවසරකට පෙර ය. 60,000කට ආසන්න ජනතාවකට මෙම ව්‍යාපෘතියෙන් සෙත සැලැසෙන බව පැවසෙන්නේ ය. වර්ග කිලෝ මීටර් 30කට ආසන්න ප‍්‍රදේශයක සුන්දර නිම්න භූමියක් ජලාශයට යට වන අතර, ඒ අනුව 3,000කට අධික ජනතාවකට තමන් පාරම්පරිකව හැදී වැඩුණු භූමිය අහිමි වන්නේ ය. ප‍්‍රදේශයේ ජීවත් වන ජනතාව මේ තාක් කුමන දරිද්‍රතාවයන් යටතේ වුව ද, තම ජීවිකාව සරි කර ගනිමින්, නිදහස් ජීවිතයක් ගතකළ අය වූහ. ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමඟ තම ඉඩකඩම් හා නිවාස ජලාශය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට අකැමැත්තෙන් වුව ද ඔවුන් කැමැත්ත ප‍්‍රකාශ කරනුයේ, ඒ වෙනුවට ඔවුනට ලබා දෙන බවට බලධාරීන් විසින් පොරොන්දු දුන් දහසින් බැඳි පියලි හා වඩා යහපත් ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තු හේතුවෙනි. එසේ වුව ද, තත්ත්වය මේ වන විට ඇත්තේ, එයට හාත්පසින් ම වෙනස් ස්වරූපයෙනි. සිය පදවිප‍්‍රාප්තියෙන් තුන් දිනක ඇවෑමෙන් ජනපති මෛතී‍්‍ර සිය සිහිනය සැබෑ කර ගත්ත ද, ව්‍යාපෘතිය හේතුවෙන් කැප කිරීම් කළ ජනතාවට ඔවුන් ඉදිරියේ මවා පෙන් වූ සිහින පාරාදීසය අහිමි වී ගොස් ය. 1977 මෙරට නව ලිබරල්වාදී ආර්ථිකය රෝපණය කළ ජේ. ආර්. ජයවර්ධන ද ජනතාව ඉදිරියේ මෙවැනි ම සිහින පාරාදීසයක් මවා පෙන්වී ය. එකල ඉදි කළ වික්ටෝරියා, රන්දෙණිගල වැනි ජලාශ ආශ‍්‍රයෙන් නිපදවනු ලබන විදුලිය ඉන්දියාවට ද ලබා දිය හැකි බවට වූ ප‍්‍රකාශ එකල අසන්නට ලැබිණි. ප‍්‍රකාශ කළ පරිදි මෙරට ජනතාවගේ ජීවිත මඳකින් හෝ උසස් තත්ත්වයකට පත් කළ නොහැකි වූ අසාර්ථක ව්‍යාපෘතීන් බවට අද වන විට එම ව්‍යාපෘතීන් පත්ව තිබේ. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට අදාළව සිදු කළ ශක්‍යතා අධ්‍යයනයේ දී අසාර්ථක ව්‍යාපාරයක් වනු ඇති බවට නිගමනය කර ඇති මොරගහකන්ද ව්‍යාපෘතියෙහි ආනිශංස ද දැක බලා ගත හැකි වනුයේ, අනාගතයේ දී ය. ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා ප‍්‍රදේශයේ ජනතාවට මුහුණ දීමට සිදු වී තිබෙන කම්කටොලූ සලකා බලන විට අනාගතය පිළිබඳව ද සුභදායී බලාපොරොත්තු තබා ගැනීම ද අසීරු වී තිබේ. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඒ වෙනුවෙන් සෘජුව ම කැප කිරීම් කළ ප‍්‍රදේශයේ ජනතාවට අල්පමාත‍්‍රයක හෝ ප‍්‍රතිලාභයක් හිමි නොවේ. ඔවුනට මේ වන විට වගා කළ ඉඩකඩම් අහිමිව තිබේ. ඒ වෙනුවට ලබා දුන් වාරි ඉඩම් සඳහා මෙම ව්‍යාපෘතියේ ජලය බිඳකුදු නොසැපැයේ. ඒ සඳහා වාරිමාර්ග පද්ධතියක් හෝ සැකැසී නැත. ඒ හේතුවෙන් මේ තාක් ඉමහත් දුක් ගැහැට මධ්‍යයේ වුව ද, තම ජීවනෝපාය තමන් විසින් ම සකසා ගත් ජනතාවක් අද ආණ්ඩුව විසින් දෙන වියළි ආහාර සලාකය දෙස බලා සිටින තත්ත්වයක් නිර්මාණය වී ඇත. අවතැන් වූ ජනතාවට කුඹුරු ඉඩම් සඳහා ජලය ලබා දෙනුයේ කළු ගඟ යෝජනා ක‍්‍රමය යටතේ බව පැවසේ. එහෙත්, එය කොතෙක් කාලයකින් ද යන්න නිශ්චිතව නොමැත. එතෙක් මෙම ජනතාව තම දිවි සරිකර ගනු ලබනුයේ කෙසේ  ද යන ප‍්‍රශ්නයට පාලකයන්ට විසැඳුම් නොමැත. 2007 ජනවාරි මස 25 වැනි දින මොරගහකන්ද ව්‍යාපාරයට මුල් ගල තබන විට තක්සේරු කළ වන්දි ප‍්‍රමාණවත් නොවීම සහ වන්දි ලබා දීමේ දී සිදු වූ අයථා කි‍්‍රයාකාරකම් හේතුවෙන් ප‍්‍රමාණවත් වන්දි මුදලක් ලබා ගැනීම සඳහා අගතියට පත් ජනතාවට නොයෙක් විට අරගල කිරීමට සිදු විය. ඔවුන් මේ තාක් ලබා ගත් යමක් වේ නම්, ඒ එම අරගල හේතුවෙන් ම බව කිව යුතු ය. කෙසේ වුව ද, නැවත තක්සේරු කිරීමෙන් පසුව ආණ්ඩුව විසින් ගෙවීමට එකඟ වූ සියයට පනහක වන්දි මුදල මේ තාක් ලබා දී නොමැති අතර, එය කොටස් වශයෙන් ගෙවීමට ආණ්ඩුව සූදානම් වීම පිළිබඳව ජනතාව අතර ඇත්තේ විරෝධයකි. මන් ද, අවතැන් වූ ජනතාව වෙනුවෙන් පැවැති හා පවතින ආණ්ඩුව මේ තාක් කටයුතු කර ඇත්තේ, විශ්වසනීය ආකාරයෙන් නොවේ. ඒ හේතුවෙන් මෙම වන්දි ලබා දීම ද කොතෙක් කාලයක් ඇදී යනු ඇති ද යන්න ජනතාවට ඇත්තේ සැකයකි. ව්‍යාපෘතිය ආරම්භ කළ කාලයට සාපේක්‍ෂව මුදලේ වටිනාකම ශීඝ‍්‍රයෙන් අවප‍්‍රමාණය වීමත්, ඒ හේතුවෙන් ලැබෙන වන්දි මුදලෙන් ඉටු කර ගත හැකි කාර්යයන් සීමිත වීමත් හේතුවෙන් මෙම වන්දි මුදල එකවර ලබා දෙන මෙන් ඔවුහු ආණ්ඩුවට බල කරමින් සිටිති. අවතැන් වූවන් වෙනුවෙන් මේ තාක් ලබා දුන් වියළි ආහාර සලාකය වෙනුවෙට මුදල් ලබා දීමේ සූදානමක් පවතින අතර, එය මෙතෙක් ද්‍රව්‍යමය වශයෙන් ලබා දෙන සහනාධාරයට බෙහෙවින් අඩු මුදලක් වන ඇති බව ද අවතැන් ජනතාව ප‍්‍රකාශ කර සිටී. ආණ්ඩුව විසින් මේ වන විට ද වියළි ආහාර සලාකය ලබා නොදෙන තත්ත්වයක් යටතේ ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කර ජලාශයේ දොරටු වැසීමත් සමඟ තමන් පිළිබඳ ඉදිරියේ දී මුළු මනින් ම නොසලකා හරිනු ඇතැයි ජනතාව චෝදනා කරති. අවතැන් වූ අනු පවුල් පිළිබඳ ගැටලූව ද මෙම ජනතාවට බලපාන ප‍්‍රබල ප‍්‍රශ්නයක්ව පවතී. ආණ්ඩුව විසින් මුල දී 2008 තෙක් එම භූමියෙහි පදිංචිව සිටි ජනතාවට ඉඩම් හා වන්දි ලබා දීමට කටයුතු කළ අතර, ජනතා විරෝධය හේතුවෙන් නැවත එය 2011 වසර දක්වා දීර්ඝ කර තිබේ. එයට එරෙහිව නැවතත් ජනතාව නැඟී සිටීමත් සමඟ එම කාලසීමාව 2015 දක්වා දීර්ඝ කර තිබේ. කෙසේ වුව ද, ආණ්ඩුව පොරොන්දු දුන් පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් මෙම ගැටලූසහගත තත්ත්වයන් ඇති වී තිබේ. නැවත පදිංචි කරවන ලද ජනතාවගේ ¥ දරුවන්ට අවශ්‍ය කරන පෙර පාසල් සහ අධ්‍යාපන පහසුකම්, විහාරස්ථාන, ප‍්‍රජා ශාලා ආදී යටිතල පහසුකම් කිසිවක් පිහිටුවීමට ආණ්ඩුව විසින් මේ තාක් කටයුතු කර නොමැත. අවතැන් වූ ජනතාව නොයෙක් විට ඉල්ලීම් කළ ද, පාලකයෝ තාවකාලික පැලැස්තර විසැඳුම් සපයනු හැරුණු කොට ගැටලූවට ස්ථිර විසැඳුම් ලබා දීමට මේ වන තෙක් අපොහොසත්ව සිටිති. මේ හේතුවෙන් පසුගිය 8 වැනිදා ඔවුහු තම ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග‍්‍රහයකට මුලපිරී ය. එය කොතෙක් දුරට පවත්වාගෙන යාමට ඉඩ හරිනවා ද යන්න පාලකයන් සතු කරුණකි. මෙතෙක් මෙරට පාලනය කළ පාලකයන් විසින් ජනතාව වෙත පටවන ලද සංවර්ධන ව්‍යාපෘතීන්හි ප‍්‍රතිඵල යහපත් විණි නම්, මෙරට ජනතාවගේ ජීවන තත්ත්වයන් වර්තමානයේ දී වඩා උසස් තත්ත්වයක පැවැතිය යුතු ය. එහෙත්, සිදු වී ඇත්තේ එයට හාත්පසින් ම වෙනස් තත්ත්වයක් වන අතර, එවැනි තත්ත්වයක් යටතේ දී මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය පමණක් සුවිශේෂී තත්ත්වයක් අත්කරගනු ඇතැයි විශ්වාස කළ නොහැක. ප‍්‍රධාන වශයෙන් ම මෙම වාරි ව්‍යාපෘති සියල්ලක් ම මෙරට වර්ෂා රටාව මත ම රැුඳී පවතී. ඒ අනුව ප‍්‍රධාන සාධකය වර්ෂාව වුව ද, මේ වන විට ශී‍්‍ර ලංකාව සතු වනවැස්ම ශීඝ‍්‍රයෙන් විනාශමුඛයට ඇද දමමින් තිබේ. දේශපාලකයන්ගේ පූර්ණ අනුග‍්‍රහය සහ අනුදැනුම මත සියලූ වනාන්තර විනාශ කරමින් තිබේ. විශාල වාරි ව්‍යාපෘති කි‍්‍රයාත්මක වන අතරතුරේ එම තත්ත්වය මෙම ව්‍යාපෘතීන්හි අසාර්ථක භාවය කෙරෙහි සෘජුව ම බලපෑම් ඇති කර තිබේ. ඉතිහාසය පුරා පාලකයන් තම අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් ජනතාව හමුවේ තබන සිහින ඔවුන්ගේ කූට අරමුණු සාක්‍ෂාත් කර ගැනීම වෙනුවෙන් ම පමණක් වන බව මෙරට ජනතාව මේ තාක් අවබෝධ කර නොගැනීම කනගාටුවට කරුණකි. මෙතෙක් බලයට පත් කිසිදු පාලකයකු ජනතා සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කර නොමැති බවට ඉතිහාසය සාක්‍ෂි දරන අතර, වර්තමානය මෙන් ම අනාගතය ද එසේ නොවීමට කටයුතු කිරීමේ වගකීම ඇත්තේ, මෙරට ජනතාව සතුව ම ය.


ලොතරයියට වින කටින මිල වැඩිවීම

2017-01-08     (කිත්සිරි කොඩිතුවක්කු)

ලොතරැයි පතක මිල රුපියල් විස්සේ සිට තිහ දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. මෙම තීරණයට ලොතරැුයි නියෝජිතයන්ගේ සිට බස් රථයකට නැඟ ලොතරැයි ටිකට් පතක් අලෙවි කරන කුඩා පරිමාණ ජංගම ලොතරැුයි වෙළෙන්දාගේ සිට විරෝධය ආණ්ඩුවට එල්ල වෙමින් තිබේ. මුලදී රුපියල් දහයකට මිල නියම වී තිබුණු ලොතරැයි ටිකට් පතක් රුපියල් විස්ස දක්වා මිල ඉහළ නැංවුණු අතර, එහි දී එය ලොතරැුයි වෙළෙදාමට සෘජුව ම බලපෑම් කරමින්, අලෙවිය සියයට පනහක් දක්වා පහත වැටුණු බව අලෙවි නියෝජිතයෝ ප‍්‍රකාශ කර සිටිති. කෙසේ වුව ද, ත්‍යාග මුදල් යම් ප‍්‍රමාණයකට ඉහළ නැංවීම මඟින් නැවත අලෙවිය යම් මට්ටමකට ඉහළ දමා ගැනීමට හැකි වුණු බව ප‍්‍රකාශ කරන වෙළඳ නියෝජිතයෝ ප‍්‍රකාශ කරනුයේ මෙවර රුපියල් තිහ දක්වා මිල ඉහළ දැමීම මඟින් පෙර තත්ත්වයට වඩා වැඩි ප‍්‍රතිශතයකින් ලොතරැුයි අලෙවිය පහළ වැටීමේ ලකුණු ඇති බවයි. ආණ්ඩුව විසින් ලොතරැුයි පවත්වාගෙන යාමේ මූලික අරමුණ වූයේ වැඩි වශයෙන් ම සුභසාධන කටයුතු වෙනුවෙන් මුදල් සපයා ගැනීම වන අතර, වාර්ෂිකව ලොතරැුයි අලෙවිය මඟින් රජයට රුපියල් බිලියන පනහකට ආසන්න මුදලක් ලබා දෙන බවට වාර්තා වේ. ඒ අනුව දිවයින පුරා සියයකට ආසන්න දිස්ති‍්‍රක් නියෝජිත පිරිසක් සහ 4,500ක් පමණ අලෙවි නියෝජිතයන් හා ලොතරැුයි කුටි සහ ජංගම අලෙවිකරුවන් වශයෙන් 40,000ක් ඉක්ම වූ පිරිසක් ලොතරැුයි අලෙවියේ නිරත වන බවට තොරතුරු වාර්තා වේ. වර්තමානයේ රුපියල් 20.00කට අලෙවි වන ලොතරැුයි පතක් වෙනුවෙන් දිස්ති‍්‍රක් නියෝජිතයාට රුපියල් 3.50ක කොමිස් මුදලක් ලැබේ. මෙය අලෙවි නියෝජිතයන්, ජංගම අලෙවි නියෝජිතයන් වශයෙන් පහළට ගමන් කිරීමේ දී එක් අයකුට ලැබෙන කොමිස් මුදල රුපියල සහ ශත පනහ දක්වා පහළ වැටේ. යම් දිස්ති‍්‍රක් අලෙවි නියෝජිතයකු මේ වන විට දිනකට මිලට ගන්නා ලොතරැුයි පත් වෙනුවෙන් රුපියල් 20,000.00ක් වැය කරන්නේ යැයි උපකල්පනය කළහොත්, රුපියල් 30.00ක් මිල වීම හේතුවෙන් එම නියෝජිතයාට එම ලොතරැුයි ප‍්‍රමාණය ම මිලට ගැනීමට රුපියල් 30,000ක් වැය කිරීමට සිදු වෙයි. එහෙත්, ලැබෙන කොමිස් මුදල වැඩි වනුයේ, ශත පනහකින් පමණකි. එනම්, සම්පූර්ණ කොමිස් මුදල රුපියල් 4.00කි. එහෙත්, පෙරට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදු වීම හා ලොතරැුයි ඉතිරි වීම හේතුවෙන් වන පාඩුව දරා ගැනීමට ද ඔවුන්ට සිදුවේ. ලොතරැුයි ටිකට් පතක මිල රුපියල් 30.00 දක්වා ඉහළ යාම පාඩු ලැබීමේ අවදානම තවත් ඉහළ යාමක් බව වෙළෙඳ නියෝජිතයෝ ප‍්‍රකාශ කර සිටිති. එබැවින්, ආණ්ඩුව විසින් ලොතරැුයි මිල ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ ලොතරැයි අලෙවි නියෝජිතවරුන් පසුගිය දින කීපය තුළ විරෝධතා කි‍්‍රයාමාර්ගවල නියැළුණු අතර, ප‍්‍රධාන වශයෙන් ම ඔවුන් ඉල්ලා සිටියේ ලොතරැුයි මිල වැඩි කිරීම නවතන ලෙස මෙන් ම තම ඉල්ලීම් නොතකා ආණ්ඩුව විසින් කටයුතු කරන්නේ නම්, අදාළ නියමිත කොමිස් මුදල වන රුපියල් 5.25ක මුදල ලබා දීමට කටයුතු කරන ලෙස ය. වර්තමානයේ දී ශී‍්‍ර ලංකා ආණ්ඩුව ලොතරැුයි මඟින් ඉහළ බදු ආදායමක් ලබා ගන්නා අතර, සංවර්ධන ලොතරැුයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය යන ආයතන දෙක ම ඉතාමත් ඉහළ මට්ටමකින් ලාභ ලබන බව ද වාර්තා වේ. ලොතරැුයි මිල වැඩි කිරීම මෙම ආයතනවල ආදායම් තත්ත්වයට සෘජුව ම බලපාන බව ප‍්‍රකාශ කරන අලෙවි නියෝජිතවරුන්ගේ අදහසක් වනුයේ, වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය දේපළ විකිණීමේ ප‍්‍රතිපත්තියට අනුව මෙම ආයතන පාඩු ලබන තත්ත්වයට ඇද දමා පෞද්ගලිකකරණය කිරීමේ යටි අරමුණේ ම ප‍්‍රකාශ වීමක් බවයි. 2002 සහ 2005 වසරවල දී එවකට පැවැති චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ සහ රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩු කාලයේ දී ඇමෙරිකාවට සහ නෝර්වේ රජයට මෙම ආයතන විකිණීමට උත්සාහ කළ අතර, ලොතරැුයි අලෙවි නියෝජිතයන් විසින් එම අවස්ථාව පරාජය කළා සේ ම ආණ්ඩුව විසින් මෙම ආයතන විකිණීමට උත්සාහ දරන්නේ නම්, තමන් ඒ වෙනුවෙන් ඉදිරියේ දී කි‍්‍රයාත්මක වෙන බව ද ලොතරැුයි අලෙවි නියෝජිතවරු ප‍්‍රකාශ කර සිටියහ. ලොතරැුයි අලෙවියේ දී නියෝජිතයන් විසින් රජයට විශාල වශයෙන් බදු ගෙවන අතර, රජය නියෝජිතයන්ගේ පාර්ශ්වයෙන් කිසිදු සහනදායී පිළිවෙතක් අනුගමනය නොකරන බව ද ඔවුහු ප‍්‍රකාශ කර සිටියහ. තමන් විසින් බදු ගෙවමින් පැවැතිය දී ප‍්‍රාදේශීය සහ පළාත් සභා විසින් තම අලෙවි කුටි ඉවත් කිරීමටත්, ලොතරැුයි අලෙවි ස්ථාන අවහිර වන ආකාරයට කටයුතු කිරීමත් සිදු කරන බව ලොතරැුයි අලෙවි නියෝජිතවරු ප‍්‍රකාශ කර සිටියහ. වර්තමානයේ දී ලෝකයේ කිසිදු රටක සිදු නොවන අයුරින්, ත්‍යාග මුදල්වලින් ද රජය විශාල වශයෙන් බදු අය කර ගන්නා බවත්, ලොතරැුයි මිල ඉහළ දැමීම මඟින් ත්‍යාග වැඩි කිරීමට කටයුතු කරන බවට මුදල් ඇමතිවරයා ප‍්‍රකාශ කර තිබුණ ද, පවතින මිල යටතේදීත් ත්‍යාග මුදල් වැඩි කිරීම සිදු කළ හැකි බවත්, ත්‍යාග මුදල්වලින් බදු අය කිරීම නවතා දැමිය හැකි බවත් ලොතරැුයි අලෙවිකරුවෝ ප‍්‍රකාශ කර සිටිති. විවිධ හේතු දක්වමින්, ආණ්ඩුව විසින් ගෙන යන මෙම අ¥රදර්ශී කි‍්‍රයාවන් හේතුවෙන් ලොතරැුයි ව්‍යාපාරය ම අනතුරට පත්වීම වැළැක්විය නොහැකි බවත්, තමන් විසින් ඉදිරියේ දී මෙම තත්ත්වය වැළැක්වීමට ගත යුතු ඕනෑ ම කි‍්‍රයාමාර්ගයකට එළැඹීමට පසුබට නොවන බවත් ඔවුහු වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියහ.